දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් වව්නියාවෙන් - නිවැසියන් අතුරුදන්

දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට වවුනියාව වනජිවි අඩවි වන නිලධාරීන් හා වවුනියාව පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.

වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරි එම්.ඩී.එල් ලයනල් මහතා පැවසුවේ විකිණීමට රැගෙනවිත් තිබු දිවි පැටියෙකු වවුනියාව, කුරුමන්කාඩු ප‍්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටින බවට වවුනියාව පොලිසිය වෙත ලද තොරතුරක් මත වනජීවි නිලධාරීන් හා පොලිස් නිලධාරීන් අදාළ නිවස වැටලූ බවයි.


එහිදී විකිණීමට රැගෙනවිත් නිවසේ වැසිකිළියේ රඳවා සිටි දිවි පැටියෙකු සොයා ගැනීමට හැකි වී ඇත.


නිවස වටලන අවස්ථාවේ නිවැසියන් පළාගොස් ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරීන් හා වවුනියාව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ මෙහෙයවයි.


නිවස වටලන අවස්ථාවේ අදාළ දිවි පැටියා ආහාර නොමැතිව මරණාසන්නව සිටි බවත්, පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ දිවි පැටියා පරීක්ෂා කිරීමේදී දිවි පැටියා මියගොස් ඇති බවත් හෙළි වී ඇත.


වනජිවි දෙපාර්තමේන්තුවේ උතුරු පළාත භාර පශු වෛද්‍ය නිලධාරි බී.ගිරිදරන් මහතා මියගිය දිවි පැටියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, අහාර නොමැතිව දිවි පැටියා මියගොස් ඇති බවට වාර්තා ඉදිරිපත් කොට තිබේ.


මියගිය දිවි පැටියා මාස තුනක පමණ වයසේ පසුවන බැව්ද වනජීවි නිලධාරීන් පැවසීය.


අදාළ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසියෙන් සිදු කළ විමසීමකදී වවුනියාව පොලිසිය පැවසුවේ දිවි පැටියා විකිණීම පිණිස රැගෙනවිත් ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත්, දිවි පැටියා රඳවාගෙන සිටි නිවැසියන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවත්,ය.


(දිවි පැටියා මියගොස් සිටි අයුරු)


ඡායා රූ - මාධව කුලසූරිය



Post a Comment