සෞඛ්‍ය ඇමතිත් අසරණයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන සමග ඇතිවී ඇති අර්බුදය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද අසරණවී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා එම ගැටළු විසඳීමට නොහැකිව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අමාත්‍යවරුන් 11 දෙනෙකු සිටින බවත්, එසේ වුවද පවත්නා වැඩවර්ජන හා අර්බුද විසඳීමට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.


සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාද උඩු බිරීම හැර අන් යමක් නොකරන බව මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.


රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයටද ආණ්ඩුව විසින් හෙංචයියන් පිරිසක් දමා එය දෙඩක කර ඇති බවත්, ඒ නිසාම ප්‍රශ්නය උග්‍රවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


ගෞරවයෙන් සැලකූ වෘත්තීන් දෙකක් වන වෛද්‍යවරුන් හා හෙද හෙදියන් අතරද ගැටුම් උග්‍රවී ඇති බවත්, එහි වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් බාරගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


යුද්ධය පවත්නා කාලයේ සියලුම ප්‍රශ්න ඒ මත දමා ආණ්ඩුව විසින් ඇඟ බේරාගත් බවත්, මේවන විට යුද්ධය නිමාවී වසර 5ක් ගෙවී ඇතත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් නොකෙරුණු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment