පාසල් දැරියක රැවටූ අනංගයාට කාලි මෑණියන් දුන් දඬුවම

පාසල් වියේ සිටින බාල වයස්කාර දරු දැරියන් තාරුණ්‍යයට එබිකම් කරන්නේ 15 - 16 හැවිරිදි වයස් සීමාවන් පසු කරද්දීය. සමාජ රටාව හරිහැටි නොදත් ඇතැම් බාල වියේ පසුවන්නියන් කපටි සල්ලාල තරුණයන්ට හසු වී යොවුන් විය එළැඹීමට පෙරම තරුණ්‍යයේ මල්කැකුළු විනාශකර ගන්නා අවස්ථා ඇත. 

එහෙත් ඒ සියල්ලන්ගෙන්ම බේරී පාසල් දිවියෙන් පසුව වුවද මවුපිය බහට කන් දී ආදර වසන්තයට මල් පියලි ඉසිමින් යුග දිවියට එළැඹෙන තරුණ තරුණියන් ජීවිතය ජයගන්නා අවස්ථා නාගරික සමාජයට වඩා ගැමි සමාජ සංස්කෘතිය තුළ අදටත් සුරැකිව ඇත. 

පාසල් වියේ සිටින දැරියන්ගේ රූප සම්පත්තියට ඉව වැටෙන පිටස්තර තරුණයන් ඔවුන් පසුපස හඹා එන්නේ ආදර කතන්දරයකට අත්පොත් තබමිනි. එවැනි අන්දමේ පුද්ගලයන්ට ඇතැම් බාල වයස්කාර දැරියන්
රැවටෙන්නේ ආදර අන්දරයක බැරෑරුම්කම නොදැනය. තවත් පිරිසක් මොනර කොළවලට රැවටී ඔවුන් සමඟ රහසේ පෙම් බඳිති. 

වයසින් පවා වසර දහයකට වැඩි ව්‍යාපාරිකයකු පාසල් වයසේ බාල වයස්කාර දැරියකට පෙම් බැඳ අවසානයේ ඇය පාසලෙන් සමුගත් අවස්ථාවේදීත් වසර ගණනක් ඒ ආදර කතාව ඉදිරියට ගෙනගොස් තිබුණේ මවුපියන්ගේද දෑස් වසා දමමිනි. 

එහෙත් ඇය එම ව්‍යාපාරික පෙම්වතා සමඟ ආදරයෙන් බැඳී සිටියද තාරුණ්‍යයේ සීමා බන්ධනවලින් පිට පැන ජීවිතය අඳුරු කරගත්තේද නැත. 15 හැවිරිදි වියේ සිට පෙම්හසුන් හුවමාරු කරගත්තද මේ ආදරවන්තයන් දෙදෙනා වසර ගණනක් පෙම් කළද ඇය ඇගේ පාසල් ජීවිතයට එය බාධාකර නොගැනීමට වග බලා ගත්තාය. 

ඒ තරමට ඇය බුද්ධිමත් වූවාය. පාසල් දිවිය හමාරකොට ගෙදරට පමණක් සීමා වූ ඇගේ ජීවිතයට ව්‍යාපාරික පෙම්වතා ළංවී සිටියේ නිවෙසේ දුරකතන රැහැන් තුළින් පමණි. අවසානයේ ඇය ඔහුගෙන් ඉල්ලා සිටියේ දෙදෙනාගේ එක්වීමට මවුපියන්ගේ කැමැත්ත ගන්නා ලෙසයි.

දිනක් ඒ ව්‍යාපාරික පෙම්වතා ඇගේ නිවෙසට ඇවිත් දෙදෙනා අතර තිබෙන පෙම් සබඳතාව ඇගේ මවුපියන් ඉදිරියේ හෙළිකර සිටියේය. එදින ඔවුනොවුන් බලාපොරොත්තු නොවූ පරිදි සියල්ල සුන්වී යෑමට වැඩි වෙලාවක් ගත නොවිණි. 


වයසේ දුරස්තර පරතරය නිසා ඇගේ මවුපියෝ එයට තරයේ විරුද්ධ වූහ. එසේ විරුද්ධ වී ඒ ව්‍යාපාරික පෙම්වතා නිවෙසින් පන්නා දැමීමෙන් පසු ඇති වූ පෙම්හබයක ගැටුමක් අවසන් වූ අන්දම ගැන කියන්නට මෙවරද කටහඬ අවදිකර සිටියේ හලාවත මුන්නේශ්වරම් මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය.

"මම මේ කියන පවුලේ අය පදිංචිව සිටියේ ආරච්චිකට්ටුව ප්‍රදේශයට නුදුරු ගම්මානයක. මේ දැරිය ඒ පවුලේ එකම ගැහැනු දරුවාද වුණා. එයාගෙ මවුපියන් රජයේ රැකියාවල යෙදී සිටිය දෙදෙනෙක්. ඒ වගේම ඒ පැත්තෙ ඉඩකඩම් තියෙන හොඳ පවුල් පසුබිමක් ඇති අය. 


පාසල් වියේ සිට මේ දැරියට ආදරය කළ ව්‍යාපාරිකයා පිට පළාතක සිට ඒ ගමට ඇවිත් පුංචි ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වුණු අයෙක්. පාසල් ජීවිතයෙන් පස්සෙ ගෙදරට සීමා වුණු ඒ දැරිය කිසිදිනෙක මවුපියන්ට පිටුපා යන්න කැමැති වුණේ නැහැ. 

ඒ තරමට ඇය මවුපියන්ට ආදරෙයි. එයාට පෙම්බැඳි ව්‍යාපාරිකයා ඇයට පැනයන්න අවස්ථා කීපයකදීම යෝජනා කර තිබුණා. නමුත් ඇය සියල්ල ප්‍රතික්‍ෂේප කළා.

ඇයත් නිතරම උත්සාහ කළේ මවුපියන්ගේ සිත් දිනාගෙන ව්‍යාපාරිකයා සමඟ විවාහ වෙන්න. රජයේ රැකියාවල යෙදිල සිටිය මේ දැරියගෙ මවුපියන් මේ අතරේ තම දියණිය විවාහ කරදෙන්න හොඳ සැමියෙක් සොයන්න පටන් අරන් තිබුණා. 


අවස්ථා කීපයකදීම තරුණ මනාලයන් මේ රූමත් තරුණ දියණිය බලන්න ඇගේ නිවෙසට ආව ගියා. නමුත් ගෙදරදි කැමැතිවෙලා යන අය දින කීපයකින් ඒ මඟුල කෙරෙන්නෙ නැහැ කියල හේතු කිසිවක් කියන්නෙ නැතිවම මංගල යෝජනා ලත් තැනම නවතා දමන්න වුණා.

මේ දැරියට හොඳ විවාහයක් කර දෙන්න ඇගේ මවුපියන් වගේම ඒ ගැන උනන්දු වුණේ ඇගේ පියාගේ වැඩිමහල් සහෝදරයා. මනමාලයන් හත් අට දෙනෙක්ම ගෙදර ඇවිත් මනමාලි බලල කාල බීල සතුටු වෙලා බහදීල ගියත් අතරමඟදි මංගල යෝජනා කැඩෙන්නෙ මොකද කියල මේ දැරියගෙ මවුපියන් ඥාතීන් හොර රහසේම සොයා බලන්න වුණා. 


ඒ අතර මේ තරුණියත් අර ව්‍යාපාරිකයා සමඟ තිබුණ සමීප ආදරයෙන් තරමක් දුරට අෑත්වෙන්න පටන්ගෙනයි තිබුණෙ. මංගල යෝජනා අතරමඟ නවතින්නෙ ඇයි කියල හොයල බලපුවහම දැනගන්න ලැබුණෙ අර ව්‍යාපාරික පෙම්වතා ඒ සියල්ලන්ටම බොරු ගොතලා කියල ඒවා කඩාදමනව කියල.

ව්‍යාපාරිකයා මේ තරුණිය බලන්න ආව මනමාලයන්ගෙ ඥාතීන් සොයාගෙන ගිහින් පාසල් වියේ පෙම්පත් පෙන්නන්න වුණා. ඒ විතරක් නෙවෙයි පාසල් යද්දි එයා සමඟ රහසේ ගමන් බිමන් ගිහින් ඇය ඇගේ පාරිශුද්ධභාවය විනාශ කරගෙන බවට බොරු ගොතා කියල තිබුණා.


නමුත් කිසිදිනෙක එවැන්නක් සිදුවී තිබුණෙ නැහැ. මේ බොරු ආරංචි දැනගන්න ලැබුණහම අර තරුණියට මේ ව්‍යාපාරිකයා ගැන පුදුම තරහක් ඇති වුණේ. පස්සේ මේ තරුණිය එයාගෙ ඥාති නිවෙසකට තාවකාලිකව පදිංචියට ගියේ අර ව්‍යාපාරිකයාටවත් ඇය සිටින තැනක් සොයාගන්න බැරිවන විදියට. 

නමුත් ඒ ව්‍යාපාරිකයා කෙසේ හෝ මේ තරුණිය සිටින තැන සොයාගෙන නැවතත් කරදර කරන්න පටන්ගත්තා. මේ වෙනකොට මේ තරුණිය බලන්න ඇවිත් කැමති වී පසුව අකමැති වුණ මනමාලයන්ගෙ සංඛ්‍යාවත් 25කට වැඩියි. ඒ පැත්තෙන් එහෙම ප්‍රතික්‍ෂේප වෙනකොට අනික් පැත්තෙන් ඒ වෙනුවෙන් මවුපියන්ට සිදුවුණ වියදම් පැත්තත් ඉහළ ගියා.

අන්තිමේ ඒ තරුණියගෙ මවුපියන් මේ තරුණියත් එක්කගෙන අපේ කාලි කෝවිලට ආව. ඒ ඇවිත් එයාගෙ දුක කියල කාලි මෑණියන්ට භාරවෙලා පළිගලේ පොල් ගහල ඒ අයගෙ පාරිශුද්ධතාව ගැනත් කාලි මෑණියන් ඉදිරියේ සත්‍යවාදීව දිවුරා මේ අවනඩුවට සහනයක් අයැද සිටියා. 


එදා පළිගහල කාලි කෝවිලෙන් පිටව ගිය ඇය යළිත් සිකුරාදා දින තුනක් කාලි කෝවිලට ඇවිත් කාලි මෑණියන්ට දුක කියල පොල් ගහල යන්න ගියේ මාවත් හමුවෙලා.

ඒ ගිහින් ඇවිත් මාස දෙකක් යන්න කලින් අර ව්‍යාපාරිකයා ඒ ගමේ පිරිසක් සමඟ කළ මුදල් ගනුදෙනු ප්‍රශ්නයකට මැදිවෙලා අර පිරිසෙන් හොඳහැටි ගුටිකාල මානසික පීඩාවට ලක්වුණා. 


ඒ විතරක් නෙවෙයි තවත් දින කීපයක් යද්දි රාත්‍රි කාලයේ අතරමග සැඟවී සිටි විරුද්ධවාදීන් පිරිසකගෙ යකඩ පොලු පහරකට මැදිවෙල කකුලක් කැඩිල මාස ගණනක් රෝහල් ගතවෙන්න සිදුවුණා. 

ව්‍යාපාරික ස්ථානයත් වැසී ගියා. ඊට පස්සේ ගමේ ජීවත්වන්න බැරි තත්ත්වයට පත්වෙලා ගමේ තිබුණ ව්‍යාපාරික ස්ථාන දේපොළ විකුණල දාල නුවර පළාතෙ ඒ අයගෙ ඥාතීන් සිටින ප්‍රදේශයකට ගමෙන් පිටවී යන්න ගියේ කාටවත් නොකියමයි.

මෙතෙක් මංගල සීනු හඬවගන්න බැරිව සිටිය අර තරුණියගෙ ඥාති මස්සිනා කෙනකු සමඟ ඇය විවාහ වුණා. එහෙම විවාහවෙලා ඒ යුවළ අපේ කෝවිලට ඇවිත් භාරවලින් නිදහස් වෙලා සැමියා රැකියාව කළ කැනඩාවට පදිංචියට ගියා. 


තරුණියකගේ අනාගතය අඳුරු කරන්නට ඒ අයගේ මංගල්‍යයන් කඩා ඉහිරවන්න සූදානම් වන අකුල් හෙළන අදමිටු පුද්ගලයන්ට කාලි මෑණියන්ගෙන් දඬුවම් ලැබෙන බව මේ සිද්ධියෙන් මනාව ඔප්පු වෙනවා.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment