දෙහිවල සතුන්වත්තේ උරග උයනේ ආරක්ෂිත කූඩුවක සිටියදී අතුරුදන් වූ 'සුදු නයා' පසුගියදා සතුන්වත්තේ වෙනත් තැනක තිබී හමුවූයේ උරයක දමා සිටියදීය. ලක්ෂ ගණනකට මිල කළ හැකි මේ සුදු නාගයා උරග උයනේ විශේෂ ආරක්ෂිත කලාපයේ යතුරු ලා තිබූ කූඩුවක දමා සිටියදී ඉන් එළියට පැමිණියේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
ජනප්‍රවාදයේ සඳහන් 'නාග පිල්ලියකට' නම් එලෙස ඕනෑම තැනකට යෑමට හැකියාව තිබේ. නොඑසේනම්, අදෘශ්‍යමාන බලවේගයකින් නාගයා එළියට ගත යුතුය. 'සුදු නාගයා' එළියට ගෙන ඇත්තේ නාග උයනේ පොදු යතුරු කැරැල්ලෙන් සුදු නයා සිටින කූඩුවේ යතුර වෙන්කොට හඳුනාගත
හැකි කෙනකු බව පැහැදිලිය.
කෙසේ වුවද දෙහිවල සතුන්වත්තට කලෙක සිට අපල කාලයක් උදාව තිබෙන බව නම් පැහැදිලිය. වටිනා දුර්ලභ සතුන් 149 දෙනකු දෙවසරක් තරම් කෙටි කාලයක් තුළදී මරණයට පත් වී ඇත. ඒ වූ කලී, එම කාලය, ඇතුළත සාමාන්‍යයෙන් මියගිය සත්ත්වයන්ට පරිබාහිරවය.
මේ පිළිබඳව ඉකුත් 13දා 'ඉරිදා මව්බිම' කළ හෙළිදරව්වකින් පසුව කලබල වූ ජාතික සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇත.
ඒ වාර්තාවට අනුව මීට වසර දෙකකට පෙර ක්‍ෂීරපායින්, උරගයන්, පක්ෂීන් හා මත්ස්‍යයන් වශයෙන් වර්ග කළ හැකි සතුන් 2,739ක් පමණ සතුන්වත්තේ සිට ඇත.
දෙවසරක් තුළ මියගිය සතුන්ගෙන් 36%ක ප්‍රතිශතයක් මියගොස් ඇත්තේ වයස් ගතවීම, උපතේදී ඇතිවන විකෘති තත්ත්වයන් හා උපත් බර අඩුවීම වැනි කාරණා නිසා බව එම වාර්තාවේ දැක්වේ. එහෙත් පරිසරවේදීන් පවසන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි.
සතුන්වත්තේ මියගිය සතුන් අතර මුහුදු සිංහයා, අරපයිමා මාළුවා, කැලෑ අශ්වයා, ඇනකොණ්ඩා, කිඹුල් හූනා, සුදු කැස්බෑවා, කළු රයිනෝ හා හඳුන් දිවියා වැනි ඉතා වටිනා දුර්ලභ සතුන් සිටි බව කියති.
සතුන් මෙලෙස මියයෑමට හේතුකාරණා වශයෙන් නිසි සෞඛ්‍ය පහසුකම් ලබානොදීම, පැටවුන් නිසි ක්‍රමවේදයනට අනුව රැකබලා නොගැනීම, ආහාර ලබාදීමේ අවිධිමත්භාවය හා අභිජනනය නොකළ යුතු සතුන් එකතු කිරීම වැනි කාරණා ඍජුව බලපා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එහෙත් සතුන්වත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ කළමනා කාරිත්වයේ දුර්වලකම නිසා මේ සියල්ල සිදුවී ඇති බව පිළිගෙන නැත. සත්ත්ව මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වූ බවක් අදාළ වාර්තාවේ සඳහන් නොවේ.
ජාතික සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනය යටතේ සතුන්වත්ත දිනෙන් දින පිරිහීමට ලක්ව ඇති බව සක්සුදක්සේ පෙනෙන්නට තිබේ.
අලි සෙල්ලම් නතර වී තිබේ. අලින්ට ක්‍ෂය රෝගය වැලඳී ඇතැයි හෙළි විය. සිටින සතුන් වර්ගද කෙමෙන් අඩුවී යයි. අලුත් සතුන් එකතු කිරීම සිදුවන්නේ කලාතුරකිනි. නරඹන්නන්ට අලුත් අත්දැකීම් කිසිවක් නැත.
එවැනි පසුබිමක දුර්ලභ වටිනා සතුන් සියයකට අධික සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වීම අතිශයින් බරපතළ කාරණයකි. ඊනියා වාර්තාවක් සකස් කර හිත සනසා ගතහැකිය. එහෙත් රටවැසියන් රැවටිය නොහැකිය.
බොරුවට පෙණය පුප්පන 'ටයි' පලඳින 'සුදු' සර්පයන්ගෙන් සතුන්වත්තට තබා මිනී පිට්ටනියකටවත් පලක් නැත.
Put the internet to work for you.
Post a Comment