මගේ දික්කසාද නඩුවට උසාවි ගිය දවස්වල මට උසාවිය එපා වුණා - Upeksha Swarnamali

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ගොඩක් දෙනාගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව කවුරුත් දන්නවා.ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා. ඒ අලුත් ආරංචිය ගැන දැනගන්න වගේම මේ දවස්වල කෙරෙන වැඩකටයුතු ගැන දැන ගන්න අපි උපේක්ෂාට කතා කළා.

* උපේක්ෂා ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා?
මගේ ජීවිතේ අලුත් වෙනසක් වුණා. මට දැන් ආයෙත් පෙම්වතෙක් ඉන්නවා. දැන් මාස දෙකක් විතර අපි ආශ්‍රය කරනවා. ඔහු මට වඩා අවුරුදු කිහිපයක් වයසින් වැඩි කෙනෙක්. ව්‍යාපාරිකයෙක්.

* ඒ කියන්නේ ඉක්මනින් විවාහ වේවිද?
විවාහය ගැන සුබවාදී බලා‍පොරොත්තු තියාගෙන ඉන්නවා. ඉස්සරහට මොනවා වේවිද කියලා හරියටම කියන්න බැහැනේ. ඉක්මනටම විවාහ වෙන්න නම් අදහසක් නැහැ.


* උපේක්ෂා ඇයි ඔහුට කැමැති වුණේ?
එයා කලාවටවත්, දේශපාලනයටවත් සම්බන්ධ නැති එක තමයි එයාට තියෙන ලොකුම සුදුසුකම. අනික මගේ වැඩකටයුතු තේරුම් අරගෙන ඉන්න එකත් මට වැදගත්.

* කලින් ගත්තු තීරණයේ දී වුණු අඩුපාඩු මේ තීරණයේ දී මගහැර ගත්තාද?
ගොඩක් දුරට ඒ අඩුපාඩු නැති වෙන විදියටයි මම මේ තීරණය ගත්තේ, ලොකුම දේ මගේ අම්මාගේ කැමැත්ත. මම මුලින් විවාහ වුණේ අම්මාගේ කැමැත්ත නැතුව. මම මේ කෙනාව තෝරාගත්තේ අම්මාගේ කැමැත්ත ඇතිව.

* ඒ කියන්නේ මේ ගත්තු තීරණේ හරි?
දැනට පේන ගැළපීම් අතින් බැලුවම තීරණේ හරි කියලා හිතෙනවා.

* මේ දවස්වල වැඩිපුර කාලය යොදවන්නේ දේශපාලන වැඩවලටද?
එහෙම කියලම නැහැ. රංගන කටයුතුත් කෙරෙනවා. හැබැයි රංගනයට වෙනදා තරම් දායක වෙන්නේ නැහැ. ඒත් අලුත් අවුරුද්දේ වැඩකටයුතු කිහිපයක් භාර අරගෙන තියෙනවා.

* ඇයි රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ?
හොඳ නිර්මාණ නැතිකම තමයි ලොකුම හේතුව රංගනයට ආපු මුල් කා‍ලේ වගේ ලැබෙන හැම නිර්මාණයේම රඟපාන්නත් බැහැනේ. නිර්මාණයක් භාර ගනිද්දී ගොඩක් දේවල් හිතන්න ඕන.

* මොනවද ඒ තරම් හිතන්න තියෙන්නේ?
ඒ නිර්මාණයේදී ලැබිය යුතු වටිනාකම ලැබෙනවාද කියන එක. අනික රඟපාන අනෙක් අය කවුද කියලත් බලන්න ඕන. රූපගත කිරීම් තියෙන්නේ කොහෙද කියලත් මම දැන් වැඩිපුර බලනවා. මොකද මම දැන් දුර පළාත්වල රූගත කිරීම්වලට යන්නේ නැති තරම්.

* රඟපාන අනෙක් අය ගැන හොයන්න විශේෂ හේතුවක් තියෙනවාද?
මම අකැමැති අයත් එක්ක රඟපාන්න මට බැහැනේ. මම එහෙම රඟපාන්නෙම නැහැ කියලා තීරණය කරපු නළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක රඟ නොපාන්න මම තීරණය කරන්න හේතුව ඒ අයගේ විනය හොඳ නැති වීම. කොච්චර දක්ෂ වුණත් විනය නැති පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක වැඩ කරන්න බැහැ.

* රංගන ශිල්පිනියක් විදියට උපේක්ෂාට තිබුණු ජනප්‍රියකම දේශපාලනය නිසා අඩුවෙලාද?
දේශපාලනය නිසාත් එක්තරා විදියක ජනප්‍රියකමක් ලැබෙනවා. ඒත් අපේ රටේ තියෙන දේශපාලන රටාවට මිනිස්සු ටිකක් බයයි. ඒ නිසා දේශපාලනය කරන අයට නළු නිළියන් තරමට ළං වෙන්නේ නැහැ. නිළියක් විදියට ජනප්‍රිය වුණු කෙනෙක් නිසා මට ඒ වෙනස දැනෙනවා. ඒත් එතන තියෙන්නේ ජනප්‍රියකම අඩුවීමක් ‍නෙවෙයි.

* දේශපාලනයට ආපු එක ගැන පසුතැවෙනවාද?
මම දේශපාලනය කරද්දී රංගනය නිසා මට ආදරය කරපු පිරිස මගේ වටා ඉන්නවා. අනික් අතින් මම නිතරම උත්සාහ කරනවා රංගනයේ දී මගේ ජීවිතයේ තිබුණු සුන්දරකම දේශපාලන ජීවිතයේදීත් තියා ගන්න. ඒ නිසා මට පසුතැවීමක් නැහැ. මම දන්නවා මිනිස්සු මට කතාබහ කරන විදියෙන් ඒ අය මට කිට්ටුයි කියලා. ඒ වගේම මට ආදරය කරන පිරිස වෙනුවෙන් යමක් කරන්නත් දේශපාලනය හරහා මට ඉඩ ලැබෙනවා.

* මේ ක්‍ෂේත්‍ර දෙකෙන් රැඳී ඉන්න වඩා අපහසු ක්‍ෂේත්‍රය මොකක්ද?
ක්‍ෂේත්‍රය මොකක් වුණත් තමන් කෙළින් ඉන්නවා නම් රැඳෙන්න අපහසු නැහැ. හැම තැනදීම තියෙන්න ඕන අනෙක් අය මාව විශ්වාස කරන එක. රංගනයේදී වගේම දේශපාලනයේදීත් මගේ වටා ඉන්න පිරිස මාව විශ්වාස කරනවා. ඒ නිසා ක්‍ෂේත්‍ර දෙකේම මට රැඳෙන්න පුළුවන්.

* ඉස්සරහට තවත් රංගන ශිල්පිනියෝ දේශපාලනයට එන එක උපේක්ෂාට අභියෝගයක් වේවිද?
කාන්තාවන් විදියට ඉදිරියට එන එක හොඳයි. හැබැයි දේශපාලනයට එන්න ඕන තමන්ට තමන් ගැන විශ්වාස නම් විතරයි. අත්දැකීම් නම් ලබා ගන්න පුළුවන්. ඒත් මේ දේශපාලනයට එන හැම දෙනාම දේශපාලනයට එන්නේ ඇත්තටම ජනතාවට සේවය කරන්නද කියන එක තමයි ප්‍රශ්නෙ.

* උපේක්ෂාගේ අධ්‍යාපන කටයුතු දැන් අවසන්ද?
මම හිතුව තරම් ඉක්මනට ඒ වැඩ කටයුතු අවසන් කරන්න අමාරුයි. මම අනෙක් වැඩත් එක්ක තමයි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. තව අවුරුද්දක් දෙකක් යද්දී මට නීති උපාධිය ලබා ගන්න පුළුවන්.

* උපාධිය ලබාගෙන නීති වෘත්තියට එකතු වෙලා වැඩ කරනවා?
උසාවිවල නඩු කියන්න මට කිසිම ආසාවක් නැහැ. මගේ දික්කසාද නඩුවට උසාවි ගිය දවස්වල මට උසාවිය එපා වුණා. ඒ වෙච්ච සමහර දේවල්වලට මට දුක හිතුණා. ඒ නිසා මම නීති උපාධිය ලබා ගන්නේ සුදුසුකමක් විදියට විතරයි.

නෙලූෂා සිල්වා

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment