කිරි පිටි මිල වැඩිවන තෙක් කන්ටේනර් 20ක් රේගුවේ හංඟලා

ප්‍රසිද්ධ කිරිපිටි ආනයනික සමාගමක් මෙරටට ගෙන් වූ කිරි පිටි ටොන් විශාල ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 20ක් රේගුවෙන් නිදහස් කැර නොගෙන කිරිපිටි මිල වැඩි කරන තෙක් එහි රඳවා තබා ගෙන සිටින බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු අනාවරණය වී තිබේ.

කොළඹ වරායට ගෙන් වූ මෙම කිරිපිටි පසුගිය 24 වැනිදා සිට මේ දක්වා බදු සහ වෙනත් ගාස්තු නොගෙවා මෙසේ රඳවා තබා ඇත්තේ ඔරුගොඩවත්තේ පිහිටි රේගු නිෂ්කාශන අංගණයේ බවටද එම ‍තොරතුරුවලින් අනාවරණය වෙයි.මෙම කිරි පිටි ආනයනික සමාගම ප්‍රමුඛ සමාගම් ගණනාවක් දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ කිරි පිටි තොග වෙළෙදපළට නිකුත් නොකර සඟවාගෙන සිටී. වෙළෙඳපළේ ඔවුන්ගේ කිරිපිටි දක්නට නොමැති බව පාරිභෝගිකයෝ පවසති.

මෙම සමාගම සහ සෙසු සමාගම් කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 250කින් වැඩි කරන ලෙසට ඉල්ලා ඇතත් ආණ්ඩුව කිසිසේත් එතරම් විශාල ප්‍රමාණයකින් මිල වැඩිකැර පාරිභෝගිකයාට අසාධාරණයක් සිදු නොකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.


වරායෙන් කිරි පිටි කන්ටේනර් තොග නිදහස් කැර නොගන්නා මෙම සමාගම මීට මාසයකට ‍පමණ පෙර වැලිසර ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක ඔවුන්ගේ කිරිපිටි පැකට් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් සඟවා ගබඩා කැර තිබියදී පාරිභෝගික අධිකාරියේ වැටලීමකින් සොයා ගැනිණි. ‍

මේ කිරිපිටි කන්ටේනර් 20 කෙරෙහිද පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඇස යොමු වී තිබේ. මෙම සමාගම එම කිරිපිටි රේගුවෙන් නිදහස් කැර ගැනීම ප්‍රමාද කරන විට ඒවායේ කල් ඉකුත්වීමේ දිනය ක්‍රමයෙන් ළඟා වෙයි.

‍යම් හෙයකින් මේවායේ කල් ඉකුත්වීම වෙනස් කැර ඉදිරියේදී වෙළෙඳ පළට නිකුත් කිරීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවද පාරිභෝගික අධිකාරියේ දැඩි අවධානය යොමුවී තිබේ.

කිරිපිටි තොග වෙළෙඳ පළට නොයවා සඟවා තබාගෙන සිටින ගබඩා සොයා පාරිභෝගික අධිකාරියේ වැටලීම් තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment