ලබන මාසයේ සිට අලුත් ජාතික හැඳුනුම්පතක්

1972 සිට වසර හතලිස් දෙකක් අතින් ලියා ඡායාරූප අලවා නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත, ලබන මාසයේ සිට වෙනස් වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ අනුව අලුත් හැඳුනුම්පත සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මුද්‍රිත පරිගණකගත හැඳුනුම්පතක් ලෙස නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර කියා සිටියේ "72 සිට අපිට තිබුනේ සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් නිකුත් කළ හැඳුනුම්පතක්. මේ තුල විශාල වැරදීම් සිද්දවෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අනික මේ තොරතුරු සියල්ල සටහන් කරන්නේ පොත් පත් වල, මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක," යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙතෙක් පැවති ක්‍රමවේදය තුල වැරදීම් සහ වංචා සහගත ක්‍රියා වලක්වා ගැනීම ඉතා අසීරු බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, කිසිවෙකුට කිසිදු ආකාරයකින් වංචාවක් කළ නොහැකි ආකාරයකට නව හැඳුනුම්පත නිකුත් කිරීමට උත්සාහ කරන බව කියා සිටියේය.
"දැන් තිබෙන වැරදි සිද්ද වෙන ප්‍රමාණය මුළුමනින්ම නෙවෙයි, 99% ක් දක්වා අඩු වේවි."

මෙතෙක් දෙමළ ජාතිකයන්ට පමණක් සිංහල සහ දෙමළ භාෂාවෙන් අතින් ලියා නිකුත් කළ හැඳුනුම්පත, නව ක්‍රමය යටතේ පොදුවේ සියලු දෙනාටම භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට නියමිතයි.

"මට දෙමළ භාෂාවේ හසල දැනුමක් නැහැ, නමුත් මේ හැඳුනුම්පත අරගෙන උතුරට යනකොට ඔවුන්ට කියවන්ඩ පුළුවන්. ඔවුන්ට මගේ නම අහන්න පුළුවන් තොරතුරු ගන්න පුළුවන්. හැබැයි සිංහල භාෂාවෙන් පමණක් තිබුනොත් ඔවුන්ට එහෙම කරන්න බැහැ," යනුවෙන්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

"භාෂාව තේරෙන්නේ නැත්නම් මිනිස්සු කුපිත වෙන්න පුළුවන්."

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව පවසන අධ්‍යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර, භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් යලිත් කිසි දිනක ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.

නව හැඳුනුම්පතේත් අඩුපාඩු තිබෙන බවත් 2016 වන විට ජාත්‍යන්තර ප්‍රමිතියකින් ස්මාට් වර්ගයේ විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීම තම අරමුණ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසරකට ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් පමණ නිකුත් කරයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment