මම මනාප ලක්ෂයකට වඩා ගන්නවා - Gayesha perera

• නින්දෙන් ඇහැරුණා වගේ ගයේෂා මොකද හදිසියේම ඡන්දෙ ඉල්ලන්න තීරණය කළේ?
මාධ්‍ය හරහා මම දේශපාලනයට එනවා කිව්වෙ අනිත් අය ඔය ගැන කතා කරන්නත් කලින්. මාධ්‍ය ඇහුව පුංචි ප්‍රශ්නයකට මං උත්තරයක් දුන්නා දේශපාලනයට එනවා කියලා. ඔය චූටි කෑල්ලෙන් තමයි මේක ඇදිලා ආවේ. හැබැයි මේක එකපාරටම නින්දෙන් ඇහැරිලා ගත්ත තීරණයක් නෙවෙයි. 2010 වර්ෂයේ ඉඳලා අද දක්වා තිබුණු සියලුම මැතිවරණවලදී පක්‍ෂ, පාට නොබලා මම රූප රැජනක් විදියට වැඩ කළා.

• ඔබ මේ ඡන්දයට එන්නෙ කාගෙ වුවමනාව මතද?
2010 වර්ෂයේ ඉඳලා මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකාවක්. එදා ඉඳන් අද වෙනකල් පක්‍ෂය ජයග්‍රහණය කරන්න විශාල වැඩ කොටසක් කළා. ඒ දවස්වල ඉඳලම මම නිල් බළකායේ සාමාජිකයෙක්. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් තමයි මෙවර ඡන්දයට ඉදිරිපත් වුණේ.

• එහෙනම් නොමිනේෂන් ලැබෙන එක නම් ෂුවර් ඇති?
මගේ පරීක්‍ෂණය තිබුණ වෙලාවෙ මාධ්‍ය එතැන හිටියා. මාධ්‍ය ඉස්සරහදීම තමයි ගරු එස්.බී. දිසානායක ඇමැතිතුමා ප්‍රමුඛ එතැන හිටපු සියලුම ඇමැතිවරු, ජේ‍යෂ්ඨයෝ මට හෙට ඉඳලා වැඩ පටන් ගන්න කියන වචනය දුන්නේ.


රඟපෑම දේශපාලනයට හොඳම සුදුසුකමක් වුණාට එකම සුදුසුකම නෙවෙයි. මොනවද ඔයාගේ සුදුසුකම්?
සුදුසුකම් තමයි මම ජාත්‍යන්තර තරග පහකට ගිහින් රට ජාත්‍යන්තර ජයග්‍රහණ තුනකට යොමු කරපු එක. ඒ ජයග්‍රහණය මගේ විතරක් නෙවෙයි. මේ රටේ ඉන්න මිලියන 22කටත් වඩා ජනතාවගේ ජයග්‍රහණය තමයි එදා ඒ ලැබුවේ. ඒ නිසා මට රට නියෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා. දේශපාලනය කරන්නත් මට හොඳටම සුදුසුකමක් තියෙනවා. මම ජනතාව ප්‍රිය කරන, ජනතාවට ළැදි ජනතාවගේ ප්‍රශ්න තේරෙන කෙනෙක්. මොකද මං දුප්පත් අම්මා කෙනකුගේ දුවෙක්. මං ඉපදුණේ පුංචි පැලක. ඒ නිසා පුංචි මනුස්සයාගේ දුක තේරෙන කෙනෙක් මං.

• ඇත්තද මේ කැම්පේන් එකට දැනටමත් කෝටි පහක් විතර වෙන් කරලා කියන්නේ?
අප්පච්චියේ එච්චර ගාණක් නම් මං වියදම් කරන්නෙ නෑ. මං ඉතාම ජනප්‍රියත්වයට පත්වුණ කෙනෙක්. රටේ ජනතාව මට මේ තරම් ආදරය කරද්දි ඇයි මං එච්චර ගාණක් වියදම් කරන්නෙ. නගරයක් නගරයක් පාසා ගමින් ගමට ගිහින් තමයි මේ වැඩේ කරන්නෙ. මං දේශපාලනයට ආවේ ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් යම් දෙයක් කරන්න මං ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. ඒ නිසා ඔවුන් ළඟට මං යනවා.

• ඔවුන් ගාවට යන්න ඇයි මේ ඡන්දෙ එනකල්ම හිටියේ?
ඇත්තටම මං එහෙම හිටියේ නෑ. පසුගිය කාලේ මාව ෆලෝ කළා නම් දැනගන්න අවස්ථා බොහොමයක් තිබුණා.

• මොනවද කරපු වැඩ?
මගේ ගමේ පන්සලේ ආශීර්වාද පූජා, සමාජ සත්කාරයන්, වැඩිහිටි නිවාසවල, පාසල් ළමයින් එක්ක, දහම් පාසල් එක්ක එකතු වෙලා මං ඔවුන්ට සහයෝගය දීලා තියෙනවා. දන්සල්, කූඩු, තොරණ් තියෙන තැන්වලට ගිහින් ආධාර කරලා තියෙනවා. හැබැයි ඒවා ෆොටෝ ගහලා පත්තරවල, වෙබ්සයිට්වල දාන්න ගියේ නෑ.

බොරු කියන්න එපා. ජනතාවට සේවය කරන්න කියාගෙන ඔය එන්නේ ඔයාටම සේවයක් කරගන්න නේද?
අපොයි නෑ. දේශපාලනයට ඇවිත් මට හම්බකරගන්න දෙයක් නෑ.

• ගයේෂා දේශපාලනය කියන්නේ මොකක්ද?
දේශය පාලනය කිරීමනේ.

• අද දේශපාලනය වෙන විදිය හොඳයිද?
අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. දශක තුනක යුද්ධය නිමා කළා. 1996 දෙහිවල ස්ටේෂන් එකේ බෝම්බ පුපුරද්දි මගේ අම්මා මාව බදාගෙන බිම පෙරළුණා ඒ සද්දෙට. ඒ දවස්වල අපි හිටියේ ඒ තරම් බයකින්. මං හැම වෙලාවෙම හිතුවේ එතුමාගේ දෑත් ශක්තිමත් කරන්නේ කොයි වෙලාවටද කියලා.

• මේ වෙද්දි යුද්ධය නැවතිලා. ජීවන බර යුද්ධයක් වෙලා. ඇත්තටම ජනතාවට සේවයක් කරන්න ඕන නම් ගයේෂාට එන්න තිබුණේ සන්ධානයෙන් නෙවෙයි...?
එක දෙයක් කියන්නම්. මගේ ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනවා. මගේ මුළු පරම්පරාවම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ. සීයා මැතිනිට වැඩ කරපු කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කරේ තියාගෙන ගිහින් මීටින් එක තියන්න තැනක් නැතිව ස්ටූල් එකක් තියාගෙන කතා කළ කෙනෙක්. මැතිනි පවා මගෙ ගෙදර ඇවිත් තියෙනවා. මැතිනි මගේ ගෙදර පය තිව්ව දවසේ ඉඳන් අපේ ගෙදර අය වෙනස් වුණේ නෑ. මගේ මුළු පවුලම ශ්‍රී ලංකාකාරයෝ. දේශපාලන පක්‍ෂයකට යන්නෙ නෑ කියලා තීරණය කළේ මං ඉපදිච්ච දවසෙමයි.

• "ෆ්ලයින් ෆිෂ්" චිත්‍රපටයේ ආන්දෝලනයට ලක්වුණු ඔබේ චරිතය ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඒ චරිතය රට තුළ විශාල අභියෝගයකට ලක්වුණා. ඒ චරිතය පුදුමාකාර විදියට මාධ්‍ය අතරට යන්න උදව් කළා.

සංස්කරණය නොකරන ලද ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට තවමත් අන්තර්ජාලය හරහා සංසරණය වෙනවා. ඒක මේ ඡන්දෙදි ඔබට ලොකු අවාසියක් වෙයි නේද?
ඔයාට කියන්න අද මම එළියට බැස්සම දෙදාහක් තුන්දාහක් මා වටා එක්රැස් වෙනවා. මිනිසුන්ට පුදුමාකාර බුද්ධියක් තියෙනවා. චිත්‍රපටයකයි මනුෂ්‍යයකුගේ පුද්ගල ජීවිතයයි දෙකක් කියලා හොඳටම අඳුරගන්නවා. ලක්‍ෂය පන්නලා ඡන්ද අරගෙන ඉතිහාසයේ කවදාවත් දිනුවෙ නැති විදියට මේ පාර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කෙරෙව්වට පස්සේ කාටත් ඒක බලාගන්න පුළුවන්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment