රට වෙනුවෙන් යළිත් යුතුකම් ඉටුකල - Muttiah Muralitharan

ඔහු අපේ මුරලිය. ලොව සකලවිධ පිතිකරුවන් සිය පිට දඟ පන්දුවෙන් අල්ලා මෙල්ල කල මුත්තයියා මුරලිදරන්ය. ලොව වැඩිම කඩුළු සංඛ්‍යාවේ පහසුවෙන් බිඳිය නොහැකි වාර්තාවේ හිමිකරුද ඔහුය. ඔහු දෙමලෙකි. දෙමල ජාතිකයෙකි.

වරෙක ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ තමන් පළමුව ශ‍්‍රී ලාංකිකයෙකු බවත් දෙමළ ජාතිකයෙකු වන්නේ දෙවනුව බවත්ය. සිය දඟ පන්දුවෙන් සියළු ගෞරවයන් ශ‍්‍රී ලංකාවට කැන්දු මුරලි ඊයේ දිනයේ රට වෙනුවෙන් යළිත් මහත් යුතුකමක් ඉටුකර තිබේ.

වේලූපිල්ලේ පිරපාහරන්ගේ ඥාතිත්වයක් ඇතිදැයි සැක හිතෙන තරමට ඊළාම් අරමුණ වෙනුවෙන් ඇප කැප වී පෙනී සිටින බි‍්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව හා මුරලි අදහස් දැක්වීය. ඔහු කීවේ තමා උපන් දා සිට මේ රටේ ඉන්නා බවත් දින කිහිපයට ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය ඇගමැතිවරයා ශ‍්‍රී ලංකාව ගැන අදහස් පල කිරීම නිවැරදි නොවන බවත්ය.


සිය සුපුරුදු මන බඳිනා සිනහවෙන් චැනල් 4 මාධ්‍යවේදියා දමනය කල මුරලි අවසානයේ වැඩසටහනේ සියළු අණසක පතුරන්නට සමත් විය. මාධ්‍යවේදියා නරඹන්නෙක් පමණක් විය. පිතිකරුවන් එකල මුරලිට කිවුවේ 'සිනාසෙන දඩයක්කාරයා' කියාය. ඔහු සිනාසෙමින් 'චැනල් 4' ද දඩයම් කලේය. මාධ්‍යවේදියා දැවී ගිය බවක් ඔහු නොදත්තේය. එහෙත් මුරලි ඔහු දවා ගත්තේය.

ශ‍්‍රී ලංකාවට තවත් වටිනා කඩුල්ලක් එක් විය. මාධ්‍යවේදියා විමසුවේ අගමැති කැමරන් සමඟ ක‍්‍රිකට් ගසද්දී ඔහුට කීවේ කුමක්ද කියායි. සුපිරි දඟ පන්දු යවන්නා පල කල සුපිරි අදහස් මෙසේය. 'ඬේවිඞ් කැමරන්ව සම්පූර්ණයෙන්ම නොමග ඇරලා. ඔහු මින් පෙර ලංකාවට ඔහුගේ තරුණ කාලේ හරි ඇවිල්ල තියනවද කියල මම දන්නෑ. නමුත් ඔහු පළමු වරට තමා උතුරට ගියේ.

විසිපහක් තිහක් දෙමාපියො ඇවිල්ලා පෝස්ටර් පෙන්නුව කියල ඒ කතා විශ්වාස කරන්න පුළුවන්ද.මේ අයට කිසිදා මෙහි ආපු නැති ජාත්‍යන්තර නායකයින් නොමග යවන්න පුළුවන්. එහෙම වුණාම ඇත්ත හොයාගන්න අමාරුයි. අසූගණන් වල මගෙත් ගේ ගිනි තිබ්බා. ඒවා මට ප‍්‍රශ්නයක් නෙමෙයි. ජාතින් දෙක අතර සංහිඳියාවක් ඇතිවුනොත් විතරයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

ඇයි මේ කිසිම වැඩක් නැති කවුරුත් දන්නැති යටගියාවක් හාරන්නේ. යුද්ධයකදී ඕනම දෙයක් වෙන්න පුලූවන්. දෙපැත්තටම වැරදි තියනවා. යටගියාව අවුස්සලා කිසි දෙයක් විසඳගන්න බෑ. මං කියන්නේ ඒ දේ සුදුසු දේ නෙමෙයි කියලා. පරණ දේවල් අපි කාටවත් වැඩක් නෑ. අපිට සාර්ථකව ඉදිරියට යන්න නම් පරණ දේවල් අමතක කළ යුතුයි කියලා ජේසු තුමා පවා කියල තියෙනවා.. එහෙම නේද?'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment