CHOGM වර්ජනය කරන ඉන්දීය අගමැති

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මතු වී තිබෙන ආන්දෝලනය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කොට ඇති බව බලධාරීහු පවසති. 

විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් මහතා, තමන් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන බව අගමැති මන්මෝහන් සිං දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බව, ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. අගමැතිවරයාගේ තීන්දුව නිළ වශයෙන් සඳුදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

මන්මෝහන් සිං ගේ තීරණය සනාථ කෙරුණහොත්, කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ගෙන් අනතුරුව සමුළුව වර්ජනය කරන බව නිවේදනය කළ දෙවැනි රාජ්‍ය නායකයා ඔහුය. 

සමුළුව වර්ජනය කරන මෙන් තමිල්නාඩුවේ දේශපාලන නායකයන්ගෙන් අගමැතිවරයාට ප්‍රබල බලපෑම් එල්ල වූ නමුත්, එවැනි වර්ජනයක් මගින් ශ්‍රී ලංකාව කෙරෙහි තවදුරටත් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට කලාපීය බලවතා වන චීනයට අවස්ථාව සැලසෙනු ඇති බව වර්ජනයට එරෙහි ක්‍රියාධරයන්ගේ මතය වී තිබුණි. 

ඉන්දීය අගමැතිවරයාගේ වර්ජනය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතා , ඒ මගින් සමුළුවේ සාර්ථකත්වයට කිසිදු බලපෑමක් අත් නොවනු ඇති බව කියා සිටියේය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී අද ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 
 -බිබිසි සංදේශය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment