CHOGM වර්ජනය තමිල්නාඩුවේ ඉල්ලීම නිසා - ඉන්දීය ඇමති වී නාරායනස්වාමි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං තීන්දු කළේ, තමිල්නාඩුවේ මහ ඇමතිනිය, විපක්ෂනායකවරයා සහ ප්‍රාන්තයේ කොන්ග්‍රස් පක්ෂ නායකත්වය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බව ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

ඉන්දීය අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි ඒ බව කියා සිටියේ, බීබීසී දෙමළ සේවයේ පී සිවරාමක්‍රිෂ්ණන් සමඟ අදහස් දක්වමින්. 2009 වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද 'ජන සංහාරය' තමිල්නාඩුවේ ජන හදවත් තුල තවමත් කැකෑරෙමින් තිබෙන බව පවසන අමාත්‍යවරයා, ඒ අතරවාරයේම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉන්දියාවට දුන් පොරොන්දු කිහිපයක්ම ඉටු කිරීමට අපොහොසත් වී තිබෙන බවත් බීබීසී ය කළ විමසීමේදී කියා සිටියේය. 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං ගත් තීරණය කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දෙන ලදැයි ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ප්‍රකාශ කළේය. 

යුද්දයෙන් බැට කෑ දෙමළ ජනතාව යලි පදිංචි කිරීම, ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීම සහ උතුරෙන් හමුදා ඉවත් කර ගැනීම වැනි පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපෝ පොහොසත් වී ඇති බවයි, ඉන්දීය අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි පවසන්නේ. 

එමෙන්ම ඉන්දීය ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල ප්‍රහාරයට ලක් වීමත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා බිඳ වැටීමට හේතුවක් වී ඇති බවත් ඇමතිවරයා පැවසීය. කෙසේ නමුත් ඉන්දීය අගමැතිවරයා සමුළුවට සහභාගි නොවීමට ඉහත කී කරුණු බල නොපෑ බවද අමාත්‍ය නාරායනස්වාමි පැවසීය.  
නිදහසින් පසු පළමු වරට 

ඉන්දීය රජයේ කිසිම නියෝජිතයෙක් සමුළුවට සහභාගි වීමෙන් වැළකිය යුතු බවට තමිල්නාඩු මන්ත්‍රණ සභාව යෝජනාවක් සම්මත කළ නමුත්, මෙවර ඉන්දීය දූත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් විසින්. දිල්ලි නුවරදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, අගමැතිවරයාගේ තීන්දුව ඉන්දු-ලංකා සබඳතාවල පසුබෑමක් ලෙසින් සැලකිය යුතු නැති බව අවධාරණය කළේය. 

කිසියම් ගැටලුවක් හෝ අවශ්‍යතාවයක් පැන නැගුනු විට දෙපාර්ශවයේ නායකයන් හමු වී එය විසඳා ගැනීම සුපුරුදු පරිදි ඉදිරියටත් සිදු වනු ඇති බවද විදේශ ඇමතිවරයා පැවසීය. මේ අතර බ්‍රිතාන්‍ය නායකයන් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීමට ගත් තීන්දුව සාධාරණ බව විදේශ ලේකම් විලියම් හේග් යලිත් වරක් කියා සිටියේය. 

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් අනතුරුව උතුරේ සංචාරයක යෙදෙන පළමු විදේශීය රාජ්‍ය නායකයා බවට පත් වීමේ අවස්ථාව මේ සංචාරයේදී අගමැති ඩේවිඩ් කැමරන්ට හිමි වන බව පවසන බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා, සමුළුව වර්ජනය කිරීමට වඩා එයට සහභාගි වීම මගින් යහපත් ප්‍රතිඵල අත් කර ගැනීමට හැකිවනු ඇති බවද බීබීසීය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment