සජිත්-කරු ඉවත් වෙති - මව්බිම පුවත්පත

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් භික්ෂු පෙරමුණේ නායක ස්වාමීන් වහන්සේ අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව ජ්‍යෙෂ්ඨ නායක ධුරය භාර නොගන්නේ නම් හෝ පක්ෂ නායකත්වය සතු සියලු බලතල කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් පත් කිරීමට යෝජිත නායකත්ව මණ්ඩලය වෙත ලබා නොදීමට කටයුතු කරන්නේ නම් එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය භාර නොගෙන ඉන් ඉවත්වීමට කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් තීන්දු කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් 'මහතාගේ මව්බිම' පුවත්පත පවසයි. 

කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මේ තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් සිකුරාදා (01 දා) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව බවද එම පුවත්පත කියා සිටියි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන්වේ. 

එක්සත් භික්ෂු පෙරමුණ මඟින් ඉදිරිපත් කරනු ලැබූ අට වැදෑරුම් යෝජනාවලියට පොරොන්දු වූ ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස වික්‍රමසිංහ මහතාට කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් මේ සාකච්ඡාවේදී දැනුම් දී ඇතත් ඊට දැඩි ප්‍රතිචාර දක්වා ඇති වික්‍රමසිංහ මහතා, පක්ෂ නායකත්වයෙන් ඉවත්ව නායකත්ව මණ්ඩලයක් වෙත බලතල පැවැරීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දුවක් ගෙන නොමැති බව පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් නායකත්ව මණ්ඩලයට බලතල පැවැරීම සම්බන්ධයෙන් තමන්ට බලයක් නොමැති බවද වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. 

එහිදී කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අවස්ථා කිහිපයකදීම වික්‍රමසිංහ මහතා භික්ෂු පෙරමුණේ අටවැදෑරුම් යෝජනාවලියට එකඟතාව පළ කරමින් ප්‍රකාශ නිකුත් කළ ආකාරය පෙන්වා දීමට කටයුතු කළද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් ඊට එකඟ නොවූ බවකි. 

එසේ නම් එළැඹෙන බස්නාහිර - දකුණ සහ ඌව යන පළාත් සභා මැතිවරණයන් සහ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණයත් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙහෙයවන ලෙස කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත. එයට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කොට ඇත්තේ ඉදිරි මැතිවරණ මෙහෙයවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය තමන් වෙත බලය ලබාදී ඇති බවකි. 

ඊට දැඩි ලෙස විරෝධය පළ කොට ඇති කරු - සජිත් දෙදෙනා එවැනි යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පක්ෂය දිනවීමට නම් භික්ෂු පෙරමුණ යෝජනා කොට ඇති පරිදි වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව ජේ‍යෂ්ඨ නායක ධුරයේ සහ විපක්ෂ නායක ධුරයේ පමණක් රැඳී සිටිය යුතු බවත් අවධාරණය කොට ඇත. 

කෙසේ වෙතත් මේ සාකච්ඡාවෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා තීන්දු කොට ඇත්තේ යම් හෙයකින් නායකත්ව මණ්ඩලයෙන් කරු - සජිත් යුගලය ඉවත් වුවහොත් ඔවුන් දෙදෙනා වෙනුවට තමන්ට හිතවත් නියෝජිතයන් දෙදෙනකු පත්කොට නායකත්ව මණ්ඩලය ස්ථාපිත කිරීමටය.''යයි ද අලස් මහතාගේ 'මව්බිම' පවසයි. 

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේ, තම පක්‍ෂයේ නායකත්ව පත් කරන්නේ හෝ ඉවත් කරන්නේ සමහර පත්තරවල කර්තෘ මණ්ඩලවලින් නොවන බවයි. "නායකත්වය වෙනස් කරන්න අපේ පක්‍ෂයට අවශ්‍යතාවයක් මතුවෙලා නැහැ. කණගාටුවෙන් වුවත් කියන්න ඕනෑ අප පක්‍ෂයේ නායකත්ව පත් කරන්නේ, ඉවත් කරන්නේ සමහර පත්තරවල කර්තෘ මණ්ඩලවලින් නෙවෙයි. එනිසා තවමත් පක්‍ෂයට එවැනි වුවමනාවක් පැන නැගිලා නැහැ.'' යයි එහිදී ඔහු සඳහන් කළේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment