කලාව බිහිවීමේ මූලිකත්වය මාතෘත්වයයි

කලාව බිහිවීමේ මූලිකත්වය මාතෘත්වයයි


කලාව බිහිවීමේ මූලිකත්වය මාතෘත්වය පුද්ගලයෙකුට කලාව පිළිබඳව මූලික බීජය ඇතුල්වන්නේ දරුවෙකු නැළවීමට මව විසින් ගායනා කරන නැළවිලි ගීත මගින් බව කවුරුත් පිළිගන්නා දෙයක් බවත් නැළවිලි ගීත ආශ‍්‍රීතව සැකසුන ගීත ප‍්‍රබන්ධ අතිශය ජනප‍්‍රියත්වයට පත්වන්නේ ඒ නිසා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පොලොන්නරුව පුලතිසි ශ‍්‍රවණාගාරයේ 24 වන රජරට මහා කලා උළෙලෙදීයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා අපේ රටේ ශ‍්‍රී ලාංකික සංස්කෘතිය සමග ගොඩනැගෙන කලා නිර්මාණ පිළිබඳව කථා කරන විට අපි කවුරුත් දන්නවා අපේ ඉතිහාසය තුල කලාව පිළිබඳව පැවැති මහා ශාස්ත‍්‍රීය දියුණුව කොපමණ ද යන්න. ඒ මහා පුරාණය, මහා දිග කථාව තිබෙන්නේ රජරට ප‍්‍රදේශය මුල්කරගෙනයි. අනුරාධපුරයත්, පොළොන්නරුවත්, එදා හෙළ රජ දවස පැවැති සමෘද්ධිය ශාස්ත‍්‍රීය දියුණුව කලාවේ දියුණුව ඒ සියළුම අංශ ගත්විට, වර්තමානයේ නව තාක්ෂණික දියුණුවත් එක්ක අපට ඒ අතීත සමෘද්ධිමත්භාවය සමග සමාන තත්ත්වයක් ගොඩනගන්නට අදවත් අපට පුළුවන්කමක් ලැබිලා නැහැ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමානයේ නව තාක්ෂණය කොතෙක් දියුණු වුවත්, මිනිසාගේ දැනුම, නව සොයාගැනීම්, පර්යේෂණ, තොරතුරු තාක්ෂණය, හැකියාවන්, මානව සමාජය තුල කොතෙක් ප‍්‍රබුද්ධ මට්ටමට අද පත්වී තිබුනත්, එදා සිටි ශ්‍රෙෂ්ඨ මානව හිතවාදින් ඔවුන් සමග අත්වැල් බැදගෙන රටේ සිටි සියළු ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයින් රටට දුන් ඒ මහා දායාද, උරුමයන් ගැන අපි ඉතාමත් අභිමානයෙන්, ප්‍රෞඩත්වයෙන් කථා කරනවා. නමුත් අපිට තවමත් පුළුවන්කමක් ලැබිලා නැහැ, ඒ වගේම හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්නෙත් නැහැ ඒ අතීත දියුණුව යළි අපට ලබාගන්න පුළුවන් වෙයි කියලා.


කලාව පිළිබඳව කථා කරන විට අප දන්නවා පුද්ගලයෙක් තුල කලාව පිළිබඳව මුලික බීජය හටගන්නේ මවක් දරුවෙක් නළවන විට ගයන නැළවිලි ගීතයෙන් කියලා. දරු නැළවිලි ගීතයක තිබෙන ගීතාත්මක බව ශබ්ද හා අර්ථ මාධූර්යය සියල්ල එක්වු විට ඒ මගින් තමයි කවියක් හෝ ගීතයක් නිර්මාණය වන්නේ. ඒ නිසා තමයි නැළවිලි කවියක් ආශ‍්‍රයෙන් ගීතයක් නිර්මාණය වූ විට එවැනි ගීත අප අතරේ අතිශය ජනප‍්‍රියත්වයට පත්වෙන්නේ. මොකද ඒක තමන්ගේම අත්දැකීමක් බව තමන්ටම වැටහෙන නිසා. ගුණදාස කපුගේ මහතා ගායනා කරන දවසක් පැල නැති හේනේ... ගීතයත්, වික්ටර් රත්නායක මහතාගේ ආදරයේ උල්පත වූ අම්මා... ගීතයටත් අපි බොහෝ කැමැති ඒ නිසයි.


සියල්ල තරඟකාරී වු ලෝකයක, ඒ තරඟකාරීත්වය මුළුමහත් සමාජයම වසාගෙන තිබෙනවා. පවුල, පාසල, සමාජය, කාර්යාලය, දේශපාලනය යන හැම තැනකම අද තිබෙන්නේ තරඟකාරීත්වයක්. එවැනි තරගකාරිත්වයක් තුල කලාව පවතින්නේ තරගකාරී සිත් සතන්වලට සහනයක් ලබාදීම සඳහායි.



සෑම පළාතකම එම පළාතේ කලාවට ලැදි දු දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ හැකියාවන් අගය කිරිමට මෙවැනි කලා උළෙලවල් පැවැත්වීම අතිශයින්ම අගය කළ යුතුයි. අප රජය වශයෙන් ඒ සඳහා අවශ්‍ය සියළුම සහය ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

උතුරුමැද පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම කලා මංගල්‍යය සංවිධානය කර තිබුනි. සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර, එම අවස්ථාවට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍ය පේසල ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.



Post a Comment