කැසිනෝ නියමයි මාත් ගැහුවා - උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

රටක අධ්‍යාපන ඇමැතිකම යනු සෙසු ඇමැතිකම්වලට වඩා වටිනා එමෙන්ම වැදගත් තනතුරකි. එය හොබවන්නාද ගරු කටයුතු වැදගතෙක් වී නම් එයම එරට අධ්‍යාපනය බබළවන්නට හේතු වන්නේය. එවන් ඇමැතිවරුන් අතර උසස් අධ්‍යාපනය භාර ඇමැතිවරයා යනු ඊටත් වඩා උසස් තත්ත්වයක පිහිටා කටයුතු කළ යුතු වන්නෙකි. 

මෙරට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ද උසස් අධ්‍යාපනයක් ලැබ, විශ්වවිද්‍යාලයට ගොස් එහිද හොඳ-නරක යන දෙකම උගත්තකු බව පැවැසේ. එහෙයින් උසස් අධ්‍යාපනයක් ලැබූ ඇමැතිවරයාගෙන් උසස්විදියේ කටයුතු අපේක්‍ෂා කිරීමේ වරදක්ද දැකිය නොහැකිය. 

දිසානායක මහතා ඊයේ පුවත්පත්වලට අදහස් දක්වමින් කියා ඇත්තේ කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කීවත් එය හොඳ සූදුවක් බවය. එපමණක් නොව මේ වසරේ මුල් භාගයේදී ඇමෙරිකාවේ සුප්‍රකට කැසිනෝ පුරයේදී තමන්ද කැසිනෝ සූදු කෙළියේ යෙදුණු බව කීය. 

එයින් නොනැවතුණු ඇමැතිවරයා කියා තිබුණේ අපේ මිනිසුන් කැසිනෝව ගැන බොහෝ කලබලයට පත්වී එක එක මත ඉදිරිපත් කළත්, එය ශ්‍රී ලංකාවේද පවත්වාගෙන යෑම හොඳ බවයි. ඊට උත්තේජකයක් සපයන්නට මෙන් ඇමැතිවරයා පවසා ඇත්තේ තමන්ද කැසිනෝ පුරයේදී වරකට ඩොලර් දෙක ගාණේ කැසිනෝ ක්‍රීඩා කළ බවත්, එහිදී කෙල්ලන් ඇමැතිවරයා රවටන්නට ආ බවත්, ඒවාට නොරැවටී තමන් ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්ටු අල්ලන්නට නොගිහින් බේරුණු බවත්ය. 

බැලූ බැල්මට ඇමැතිවරයාගේ ප්‍රකාශය ඍජුය. පැහැදිලිය. ඒ අනුව කැසිනෝව හොඳ සූදුවක් නම් එය මෙරට ස්ථාපිත කෙරෙන වැඩසටහන් දියුණු තියුණු කිරීම හොඳය. ඊට අකුල් හෙළන්නෝ මොළයේ අමාරුවක් ඇති නිසා නන්‍ෙදාඩවන්නෝය. විරෝධාකල්ප දක්වන්නෝ මෝඩයෝය. 

උන්ට උල්පන්දම් දෙන විද්වත්හු බක පණ්ඩිතයෝය. කරුණු හරි හැටි නොදැන මේ ගැන ලියන්නෝද කියවන්නෝද උන්මත්තකයෝය. එසේ නම් සූදුව මෙරට ස්ථාපිත කොට, සූදුව නීතිගත කර ජනතාකරණයට ලක් කළ යුතුය. එයින් ඇමැතිවරයා කියන හැටියට රුපියල් කෝටි ගණනින් මුදල් මෙරටට ගලා ඒමට ඉඩ ලැබෙන්නේය. 

මෙම ක්‍රමවේදය භාවිත කරමින් කටයුතු කිරීමේදී ආර්ථිකය ශක්තිමත් වන්නේය. ඉන් ආසියාවේ ආශ්චර්ය උදා වන්නේය යනුවෙන් තර්ක කළ හැකිය. රටක් දියුණු කිරීමට ආර්ථික විද්‍යාවට අනුව දියුණු උපාය උපක්‍රම මෙන්ම පාදඩ ක්‍රමවේදයන්ද ඇත. දියුණු තත්ත්වයන් භාවිත කරන්නෝ සමස්ත ජන සමාජයේ සියලු පැතිකඩ පිළිබඳ සිහිනුවණින් යුතුව විමසා, කරුණු අවබෝධ කොටගෙන, එම ජන සමාජයේ සැබෑ දියුණුව උදෙසාම නිශ්චිත පියවර ගන්නෝය. 

එසේ බැරිවූ තැන, නින්දිත පාදඩ ප්‍රතිපත්ති මත කැලෑ නීතියට අනුව, අසංවිධිත ක්‍රමෝපායන් භාවිත කරන්නේ "දියුණුව මතුපිටින් පමණක් පෙන්වන ආර්ථිකයක්" ඇති රටවල්ය. එකී ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන්නවුන්ය. එසේ නම් එකී පාදඩකරණ ප්‍රතිපත්තියෙහි පරිපූර්ණ ආර්ථික ක්‍රමෝපායන් අනුව සූදුව හොඳ විය යුතුය. සූදුවේ අතුරුඵල ගැන අප නොසිතිය යුතුය. 

ඒ ගැන වගේ වගක් නැතිව අඳ ගොළු බිහිරන් සේ සිටිය යුතුය. මෙහිදී අප තෝරාගෙන ඇත්තේ කුමන ප්‍රවේශ මාර්ගය ඔස්සේ ආර්ථිකය දියුණු කිරීමටද යන්න යළි සිතා බැලිය යුතුය. එසේ නම් අප බටහිරට බැන වැදී, බටහිර "සැරව ගලන ආර්ථික ව්‍යාධීන්" කරපින්නාගන්නේ අමනයන් යැයි එදා සරසවි අරගලවලදී මොර දුන්නේ සිහිවිකල් වී සිටිද්දී විය යුතුය. එසේ නම් කැසිනෝ වැනි සූදුවක් නැතිව මේ රට දියුණු කරන්නට බැරි යැයි මොරදෙන පිරිස් බිහිවන්නේ අපේ වාසනාවට විය යුතුය. 

සැරව ගලන ආර්ථික ව්‍යාධීන් ශුද්ධ පවිත්‍ර කොට ගෙන බෙහෙත් ගල්වා "අනේ දැන් ගඳ නැත" යැයි කියන්නට තරම් වන ආර්ථික විශේෂඥයන් උසස් අධ්‍යාපන බලධාරීන් බිහිවීම මේ ක්‍රමවේද යටතේ එක අතකට පුදුම විය යුතුද නැත. පුදුම වීමට සිදුව ඇත්තේ එක් දෙයකටය. 

එනම් 'තුවාලය ගඳ ගසන බව දැන දැනත් ඒ ගඳ ගඳක් නොවේ' යැයි කියන්නට තරම් මානසිකත්වයක් නිර්මාණය කළ මේ ක්‍රමය හොඳ යැයි කියන්නන්ගේ කටවල් ඇරුණේ කෙසේද යන්න ගැනය. මේ අනුව ගමේ අස්සක් මුල්ලක් නෑරම මත්කුඩුද මත්වතුරද පාතාලයද පාදඩ දේශපාලනයද මේ අනුව හොඳ විය යුතුය. රට පුරා කැසිනෝ මෙන්ම ගණිකා මඩම්ද බිහිවීම හොඳය. 

මුදල් හොයා ගැනීම සඳහා ඕනෑම තුච්ඡ ක්‍රියාවක් හෝ සිදුකිරීම වරදක් නොවනු ඇත. එය ආසියාවේ අප අපේක්‍ෂා කරන ආශ්චර්යවත් දියුණුව සඳහා වනු ඇත. මෙවන් අසිරියක් මොනතරම් මනරම්දැයි සිතා ගැනීම ජනතාවට භාරය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment