හොඳම කාලය එළඹී ඇත - ගෝඨා රාජපක්ෂ

මෙරට සියලූම ක්ෂේත‍්‍ර නියෝජනය කරන වෘත්තීය විශේෂඥයන්ට හොදම කාලය එළඹී ඇති බව නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

කොළඹ අද (24) පැවති, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද, 2013 ජාතික ඉංජිනේරු සමුළුවට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ, රටේ ආර්ථික දියුණුවත් සමඟ විකල්ප අවස්ථා රැසක් සියලූ ක්ෂේත‍්‍රවල නිර්මාණය වී ඇති බවයි. 

රට වෙනුවෙන් නව නිෂ්පාදන සිදුකිරීමට වෘත්තීය විශේෂඥයින්ට වගකීමක් පවතින බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේය. කොළඹ ගලධාරී හෝටලයේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවිය. 

රජයේ ප්‍රතිපත්තින්ට අනුව යමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා අනෙකුත් අදාල ක්ෂේත්‍රයන්හි සැලසුම් සදහා සිය දායකත්වය ප්‍රශස්ථ අන්දමින් සපයමින් දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය අනාගතයේදී මෙම කටයුතු සදහා කුමන ආකාරයෙන් සිය දායකත්වය ලබාදෙන්නේද යන්න මෙම ආරම්භක සමුළුවෙහි තේමාව විය. 

ආරාධිත අමුත්තා පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයා වන තිලක් ද සිල්වා මහතා විසින් පැමිණි සිටි පිරිස පිළිගත් අතර ඉදිරියේදීද සිය මව්බිමේ සංවර්ධනය සදහා රජය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙලට සිය ආයතනයේ සියළුම සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද මෙහිදී ප්‍රකාශ කලේය. 

අනතුරුව ප්‍රධාන දේශණය පවත්වමින් යුද්ධය දිනා නිදහස අත්කර ගැනීමෙන් පසුව මේ වන විට අප රට සාමකාමී හා ඉතා හොද ස්ථාවර මට්ටමක පවතින බවත් සාමය දිනා ගැනීමෙන් අනතුරුව ආරම්භ කල සංවර්ධන වැඩ කටයුතු සදහා ඉංජිනේරුවන්ගේ දායකත්වය ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය. 

රජය විසින් ධනාත්මක චින්තනයක් අනුගමනය කරමින් නිවැරදි හා එඩිතර තීන්දු තීරණ ගත් නිසාත් ආරක්ෂක හමුදාවන්ගේ මිල කල නොහැකි කැපකිරීම් හා ජීවිත පරිත්‍යාගයන් නිසාත් ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූ බව පැවසූ රාජපක්ෂ මහතා, රටේ අනෙකුත් සංවර්ධන කටයුතුවලදීද ධනාත්මක චින්තනයට අනුව කටයුතු කිරීමත්, නිවැරදි හා එඩිතර තීරණ ගැනීමත් ඉතා වැදගත් බව ද මෙහිදී ප්‍රකාශ කලේය. 

ගරා වැටුන තත්වයක තිබූ පැරණි ලන්දේසි ගොඩනැගිල්ල, තුරග තරග පිටිය ආශ්‍රිත ව තිබූ ගොඩනැගිලි ආදිය කඩා ඉවත් කරන්නේ නැතිව ඒවාගේ පෞරාණික බව රැකෙන ආකාරයෙන් නැවත අලුත් වැඩියා කර ඒවා අද වන විට රටේ ආර්ථිකයට සවියක් වන තත්වයකට පතිකිරීමට හැකිවූයේ එවැනි නිවැරදි හා එඩිතර තීරන ගත් නිසා බව අවධාරණය කර සිටි අතර කොළඹ නගරයේ කුණු ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්ණයේදීද එහි මූලාශ්‍රයන් නිවැරදිව තේරුම්ගෙන අවශ්‍ය නියෝගයන් ලබාදිම තුලින් ඉතා සරල ආකාරයෙන් එම ප්‍රශ්ණය විසදා ගැනීමට හැකිවූ බවද ප්‍රකාශ කලේය. 

කොළඹ නගරය අලංකරණය කිරීම, අපවිත්‍ර සහිත පරිසරයක වාසය කල අඩු ආදායම්ලාභි පවුල් ඒවාගෙන් ඉවත් කර වඩා හොද පිරිසරයක් හොද ජීවන මට්ටමක් සහිතව නවින නිවාසවල පදිංචි කරවීම ආදී සෑම සංවර්ධන ක්‍රියාවලියකටම ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහළ දායකත්වයක් ලබා දුන් බවත් අනාගතයේදී සිදු කරනු ලබන එවැනි කටයුතු සදහා ද ඔවුන්ගේ සහාය එසේම අවශ්‍ය වන බවද පවසා සිටියේය. 

එසේම යම් ව්‍යාපෘතියක් නිවැරදිව කර ගැනීම සදහා එම ස්ථානයේ වැඩ කරන පිරිස නිතරම උනන්දු කල යුතු අතර ඔවුන්ගේ දායකත්වයට නිසි ගෞරවය ලබාදියයුතු බවත් එසේම ඔවුන් ගේ සේවය අගය කල යුතු බව හා නිතරම එය අධීක්ෂණය කරමින් ඔවුනට නිසි මග පෙන්වීම කල යුතු බවද මෙහිදි ආරක්ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදී. 

ඒ තුලින් අපට ඉතා පහසුවෙන් නියමිත ඉලක්කයන් කරා යා හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මෙම ආරම්භක ඉංජිනේරු සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය පැවැත්වීම සම්බන්ධයෙන් හා ඉංජිනේරු කේෂ්ත්‍රයේ පූර්ණ සහයෝගයද ලබාගෙන අප මාතෘ භූමිය මෙවන් තත්වයකට ගෙන ඒම සදහා ආරක්ෂක ලේකම්වරයා ගේ දායකත්වය අගයමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක්ද පිලිගන්වන ලදි. 

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ,ඉංජිනේරු ආයතනයේ සභාපති තිලක් ද සිල්වා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම් (තාක්ෂණ) රොහාන් සෙනවිරත්න, ඉංජිනේරු ආයතනයේ නිලධාරීන් හා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක්ද සහභාගී වූහ.






Post a Comment