ලංකාවට කැසිනෝ ගෙනා ජනාධිපති වෙන්න එපා - මාදුළුවාවේ සෝභිත හිමියෝ

ලංකාවට කැසිනෝ ගෙනාවේ මහින්ද රාජපක්ෂ යන අවමානය ජනාධිපතිවරයාට එල්ල විය හැකි බැවින් ජනතාවගේ හඩට කන් දී කල් දැමූ කැසිනෝ පනත සදාකාලිකව වළලා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති. 

එසේ නොවුණහොත් යුද්ධය ජයග‍්‍රහණය කළ ජනාධිපතිවරයා ලෙස ලැබුණු පිළිගැනීම එතුමාගෙන් ගිලිහී යාමට එය හේතු විය හැකි බවද උන් වහන්සේ පැවසූහ. කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවති ජාතික විදිවත් සභාවට එක් වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසූහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ. 

'රට ත‍්‍රස්තවාදයෙන් බේර ගත්තු නායකයා හැටියට ලැබූ ගෞරවය උපයෝගී කරගෙන රට මතින් බේරා ගත්තු නායකයා මහින්ද රාජපක්ෂ කියන එක ජනතාව බලාපොරොත්තු වුණා. 

ඒ වගේම කැසිනෝ වැනි දුරාචාර ලංකාවට ගෙන ඒමට විරුද්ධ වුණ නායකයා කියන ගෞරවය ලබන එකයි අපේ කැමැත්ත වෙන්නේ. ඒ නිසා ජනතාවගේ හඩට කන් දීලා කල්දැමූ කැසිනෝ පනත සදාකාලිකව වළලා දමන්න. සංශෝධන සහිතව ඉදිරියේදී ගෙන ඒමට සූදානමක් තිබේ නම් එයට එරෙහිව ඕනෑම අරගලයක් කිරීමට අප සූදානම්'

Post a Comment