චාල්ස් කුමාරයා අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට විරෝධය ප්‍රකාශ බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුව පවසයි.
එම සංගමය විසින් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ පිහිටි බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාල වෙත ගොස් මේ සම්බන්ධයෙන් ලිපියක් ද ඉදිරිපත් කර තිබේ. එම සංගමය විසින් ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දුන් එම ලිපිය පහත පරිදී වේ.
ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස්තුමා,
බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය,
කොළඹ 07.
මහ කොමසාරිස්තුමනි,
චාල්ස් කුමාරයා අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට විරෝධය ප්‍රකාශකිරීම
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන චාල්ස් කුමාරයා අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට යන බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ශාකාවක් ලෙස මීරිගම ආයෝජන කලාපය තුල ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහාය. මෙම ආරම්භයත් සමග ශී‍්‍ර ලංකාව තුල ‘අධ්‍යාපන වෙළඳ කලාප’ 06ක් ඇතිකර විශ්වවිද්‍යාල උපාධි විකිණීම නීතිගත කිරීමට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව සූදානම් වේ.
ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ 1940 දශකයේදීය. ගතවූ වසර 70 තුල එය විවිධ කප්පාදු කිරීම්වලට ලක්වුවද තවමත් යම් පමණකට හෝ රැුක ගෙන ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාව හා ශිෂ්‍ය ව්‍යාපාරය සිදුකල දැවැන්ත කැපකිරීම් හේතුවෙනි. 1977 සිට ශ්‍රී ලංකාවේ බලයට පත් විවිධ ආණ්ඩු විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකර නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කල සෑම මොහොතකම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විශේෂයෙන් සටන් කරඇත. 1987 පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය තුල මෙරට විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දහස් ගණනක් ඝාතනය විය. එහෙත් අවසානයේ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් එම සටන ජයග්‍රහනය කිරීමට අපි සමත්වීමු. එතැන් සිට ගතවූ වසර 25 තුල උපාධි ප්රදානය කරන පෞද්ගලික ආයතන කීපයක් විනා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩු අසමත්විය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ ගනු ලබන්නේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධව තීරණාත්මක පියවරකි. එනිසා ශිෂ්‍ය ව්‍යාපාරයට හා රටේ පොදු ජනතාවට ද මෙය තීරණාත්මක අවස්ථාවකි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මොහොතේ, රටේ අවධානය ඒ සඳහා යොමුව ඇති මොහොතේ තමන්ට වසර 25ක් තුල ඉටුකර ගත නොහැකිවූ කාර්යයක් චාල්ස් කුමාරයා ලවා මුල්ගල තබා සිදුකර ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සූදානම් වන බව පෙනේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳ අපගේ දේශපාලන විග්‍රහය පසෙක තිබියදී මෙම මුල්ගල් තැබීම හරහා ඇරඹීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලයට හා ‘අධ්‍යාපන වෙළඳ කලාපවලට කිසිසේත් ඉඩදිය නොහැක.
එනිසා ශ්‍රී ලංකාවේ සාතිශය බහුතර ජනතාවක් හා මුළුමහත් ශිෂ්‍ය ව්‍යාපාරය විරුද්ධ වී සිටින පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල තැබීමට චාල්ස් කුුමාරයා සහභාගි වීම පිළිබඳ අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. එසේම එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ශාකාවක් ලෙස මීරිගම ආයෝජන කලාපය තුල පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට ද අපගේ බලවත් විරෝධය පලකරමු. මෙම අවස්ථාවේ හෝ අනාගතයේ මේ සම්බන්ධව මතුවන විරෝධතා හා ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිචාරවලට අනියමින් එංගලන්ත රජයද වගකිව යුතුබව අවසාන වශයෙන් මතක් කර සිටිමු.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුව වෙනුවෙන්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික සංවිධායක
Post a Comment