ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නෑ


ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.


ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි New Indian Express පුවත්පත අනාවරණය කරයි.


ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක ම‍නෝ ගනේෂන් මහතා විසින් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර ඇත.


ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇතැයි New Indian Express පුවත්පත වාර්තා කරයි.


ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පසුගිය රජ‍ය යටතේ 2010 වසරේ සිට නිල නොවන වශයෙන් නතර වී තිබුණි.


2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිඩ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් තිබිණ.


එම අවස්ථාවේදී ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් මත භේදයක් ද හට ගැනිණ.


කෙසේ වුවද නිල නොවන වශයෙන් පැනවී තිබූ එම තහනම තවදුරටත් බලනොපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය නිකුත් කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී එකඟ වී ඇතැයි පැවසේ.



Post a Comment