අගවිනිසුරු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් - පැහැර ගැනීම් හා ඝාතන සෙවීමට විශේෂ ඒකකයක්

වත්මන් අගවිනිසුරු ගැනත්, ඔහුගේ ක්‍රියාකලාපය ගැනත්, අද රැස්වූ ජාතික විධායක සභාව විශේෂයෙන් සාකච්ඡා කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැතිවරණ ක්‍රියාවලියේදී ඔහු රාජ්‍යද්‍රෝහි කුමන්ත්‍රණයකට එක්ව ඇති බැවින් අගවිනිසුරු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය යන නිගමනයකට ජාතික විධායක සභාව පැමිණි බවද ඒ මහතා කියයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් කරගෙන යන බැව් ද මන්ත්‍රීවරයා පැවසුවේය.


එසේම ව්‍යවස්ථාවට කඩිනමින් ප්‍රතිසංස්කරණ ගෙනඒම, කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත නීතියක් බවට පත් කර ගැනීම ඇතුළු වැදගත් දෑ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම ගැනද සාකච්ඡා වූ බව හෙතෙම කීවේය.


තවද පසුගිය කාලයේ සිදුවූ පැහැර ගැනීම් හා ඝාතන ගැන පරීක්ෂණ කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, ඊට සම්බන්ධ අය නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමටත් තීරණය වූ බව මන්ත්‍රීවරයා පැවසීය.


මීට අමතරව අතුරු අය වැය ලේඛනයක් ඉදිරිපත් කර දින 100 වැඩසටහන යටතේ ජනතාවට සහන සැලසීම ගැන තීරණයකට පැමිණි බව හෙතෙම කියා සිටියේය.



Post a Comment