ජාතික ගීය දෙමළෙන් කියන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ



ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමේ හිමිකම අලුතෙන් ලබාදුන් දෙයක් නොවන බව හිටපු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය,එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී,අධිනීතිඥ වාසුදේව නානයක්කාර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා ඇත්තේ එවැන්නකට තිබූ තහංචි ඉවත්කිරීමක් ගැන නොව ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නොමැති බව යයි හෙතෙම අද දෙරණට කියා සිටියේය.


තමාගෙන් මේ පිළිබඳ වාචික ප්‍රශ්න කිරීම් පාර්ලිමේන්තුවේදී සිදුකළ බවත්,ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කළ හැකිද යන ප්‍රශ්නයට තමා පිළිතුරු දුන්නේ 'ඔව්'යන්නෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


එය දැක්වෙන්නේ කොහේදැයි විමසන ලදුව තමාදුන් පිළිතුර වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද්‍රවිඩ භාෂා පිටපතේ එය දැක්වෙන බවත්,මෙතුවක් කාලයක් ගැටළුවක් නොවී එය සිදුවුණු බවත් යයි ඔහු පෙන්වාදුන්නේය.


අදටද උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ දිස්ත්‍රීක්කයේ පවා දෙමළ මාධ්‍ය පාසල්වල ජාතික ගීය ගායනා කරනු ලබන්නේ ද්‍රවිඩ භාෂාවෙන් බවත්,ද්‍රවිඩ භාෂාව භාවිතා කරන බහුතරයක් වෙසෙන ප්‍රදේශවලට එය භාවිතා කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සමග සැසඳෙන බවත්,මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් නැවත ඉස්මතු කිරීමක් බවත් නානයක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment