නීති විරෝධී ලෙස තනතුරු හදා කෝටි 5ක් පිට පාරෙන් බෙදලා



නීත්‍යානුකූල නොවන තනතුරු ඇතිකර පිටස්තර පුද්ගලයින්ට

වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට යොමු කළ ලිපියකින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.


එහි මෙසේද සඳහන්ය.


විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පාලන සමය තුළ සේවක ප‍්‍රතිපාදනයේ පවා නොමැති තනතුරක් ඇතිකර අලෙවි සංවර්ධන නිලධාරින් ලෙස 40 කට අධික පිරිසක් අප සංස්ථාව නමින් බඳවාගෙන තිබු අතර ඔවුන් කිසිඳු සංස්ථා වැඩබිමක හෝ කාර්යාලයක සේවය නොකළ බවද වාර්ථා විය.


ඔවුන් අතර ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකු සිටි බවද වාර්ථාවන අතර සංස්ථා වැඩබිමක හෝ කාර්යාලයක සේවයේ නොයෙදී සිටියදී 2010 සැප්තැම්බර් මස සිට 2014 දෙසැම්බර් මාසය දක්වා වසර 4 කුත් මාස 4 ක කාලයක් තුළ වැටුප් ලෙස පමණක් ඔවුන් වෙත ගෙවා ඇති මුදල රුපියල් කෝටි 5 කට අධික බව පෙනීගොස් ඇත.


මෙලෙස සේවක ප‍්‍රතිපාදනයේ නොමැති තනතුරක් වෙනුවෙන් 40 කට අධික පිරිසක් බඳවා ගෙන ඔවුන් වෙත වැටුප් ලෙස පමණක් රුපියල් කෝටි 5 කට අධික මුදලක් ගෙවීම් කිරීමෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදුකොට ඇති බව අපගේ හැඟීමයි.


එබැවින්, නීත්‍යානුකූල නොවන තනතුරක් ඇතිකර පිටස්තර පුද්ගලයින්ගේ නම් සංස්ථාවේ වැටුප් ලේඛන වලට ඇතුළත් කර වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පූර්ණ හා විධිමත් පරික්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ හරහා එම වංචනික ක‍්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට හා පාර්ශව වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අප සංගමය ඔබතුමන්ගේ ඉල්ලා සිටින්නෙමු.



Post a Comment