නීති විරෝධී රත් හඳුන් තොගය ජාවාරම්කරුටම දුන්නාම හරිද?



ශී‍්‍ර ලංකාව හරහා නීති විරෝධීව ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රත්හඳුන්

තොගය පෙරළා අදාළ ජාවාරම්කරු වෙතටම යැවීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ජේ.ඒ ගුණතිලක මහතාගේ අත්සනින් යුතුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ එකී තීරණය බල රහිත කරන ලෙසයි.


එම ලිපියේ මෙසේද සඳහන්ය.


රේගු නිවාරණ අංශයට ලැබුණු තොරතුරක් මත සනීපාරක්‍ෂක භාණ්ඩ වශයෙන් නැව් බඩු ලේඛනයේ සඳහන් කර ශී‍්‍ර

ලංකාව හරහා ප‍්‍රවාහනය කරමින් සිටියදී රු. කෝටි 05 ක් පමණ වටිනා රත්හඳුන් තොගය 2013 නොවැම්බර් මස

අත්අඩංගුවට ගන්නා ලදී. 2014 ඔක්තෝබර් දක්වා නිවාරණ අංශය භාරයේ තිබූ මෙම රත්හඳුන් තොගය මෙම ගනුදෙනුවට කිසිදු සම්බන්ධයක් නොමැති අයෙකුගෙන් රු. ලක්‍ෂ 50 ක දඩයක් අයකර ගෙන භාණ්ඩ ආනයනකරු වෙතටම යැවීමට නිවාරණ අංශය තීරණය කර තිබූ අතර මේ පිළිබඳව අප සංගමය විසින් එවකට මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කිරීමෙන් පසු අදාළ බලධාරින් එම තීරණය හකුලා ගන්නා ලදී.


ඉන්පසු මෙම පරීක්‍ෂණය ආදායම් අධීක්‍ෂණ ඒකකය යටතට පත්කළ අතර මේ වනවිට එහි තීරණය ලබාදී තිබේ. එය

කලින් තීරණයට නොදෙවනි වේ. ඒ අනුව කලින් අයකර ගත් ලක්‍ෂ 50 දඩමුදල ආපසු ගෙවා ඇති අතර දේශීය නැව්

නියෝජිතයාට රු. ලක්‍ෂයක දඩ මුදලක් නියම කර රත්හඳුන් තොගය අපනයනකරුට නැවත බාරදීමට තීරණය කර

තිබේ.


මෙම තීරණය නිසා බරපතළ ගැටළු ගණනාවක් මතුවේ.


1. අයකර ගන්නා ලද දඩ මුදලක් ආපසු ගෙවීම සඳහා රේගු ආඳා පනතේ ඇති ප‍්‍රතිපාදන මොනවාද?


2. ලොව පුරා කපා දැමීම, ප‍්‍රවාහනය හා වෙළඳාම තහනම් කර ඇති රත්හඳුන් අපනයනකරු මෙම පරීක්‍ෂණය

සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි?


3. මෙවැනි බරපතළ වරදක් කළ අයෙකුට එම භාණ්ඩ තොගය දඬුවමකින් තොරවම ලබාදීමට ශී‍්‍ර ලංකා

රේගුවට ඇති ප‍්‍රතිපාදන මොනවාද?


4. රත්හඳුන් ඉන්දියාවට ආවේණික ශාකයක් බැවින් මෙම පරීක්‍ෂණය සඳහා අවම වශයෙන් ඉන්දීය මහ

කොමසාරිස් කාර්යාලය හෝ ඉන්දීය රේගුව දැනුවත් නොකළේ මන්ද?


කෙසේවෙතත්, රේගු බලධාරින් විසින් ගෙන ඇති මෙම තීරණය නිසා රේගු ඉතිහාසයට බලවත් වැරදි පූර්වාදර්ශයක්

ඇතිවිය හැකි බැවින් රත්හඳුන් තොගය පිළිබඳව ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස හා අංක PREV/FPO/

2497/2013 යටතේ වන පරීක්‍ෂණය රේගු ජෛව විවිධත්ව ඒකකය යටතට පත්කර විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට

අවශ්‍ය පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.



Post a Comment