විදුලි සේවකයින්ගෙන් රතු එළියක්


නීති විරෝධී වැටුප් චක්‍ර ලේඛය අහෝසි කරන ලෙස හා මූල්‍ය වංචාවට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා විදුලිසේවක සංගමය පවසයි.


පෙබරවාරි 18 වන දින දහවල් 12.00 ට ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මෙම උද්ඝෝෂණයේ තවත් අරමුණු දෙකක් පවත්නා බවත්,ලංවිම තුළ ක්‍රියාත්මක පලිගැනීම් නතර කරන ලෙස බලකිරීමත්,එකඟවූ අනුපාතයට වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලීමත් ඒ අතර වන බව ලංකා විදුලිසේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියි.


ලංකා විදුලි සේවක සංගමය ඇතුළු විදුලබල මණ්ඩලයේ වෘත්තීය සමිති 26ක් 18 වන දින විරෝධයට එක්වන බව රංජන් ජයලාල් මහතා කියා සිටියේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


2015 ජනවාරි මස 08 වන දින ජනාධිපතිවරණය කෙරෙහි මුළු රටේම අවධානය යොමුව පැවතියදී ලංවිමය තුළ බරපතළ මූල්‍ය වංචාවකට සැලසුම් දියත්වූ බවත්,2014/G.M/46/per දරණ 2014/11/27න් පසු නිකුත් කළ වංචනික චක්‍ර ලේඛයක් මගින් සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුඛ සුළු පිරිසකට පමණක් වැටුප් වැඩිවීමක් කරගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.


මෙම වැටුප් වැඩිවීම නොවැම්බර් මස කරගෙන ඇත්තේ 2015 ජනවාරි මස 30%න් වැඩිවීමට පෙර බවත්, එකී නීති විරෝධී වැටුප් වැඩිකර ගැනීමෙන් පසු ඒ මත පොදුවේ 30%ක වැටුපද 2015 ජනවාරි 01 වන දින සිට වැඩිකර ගැනීමෙන් අතිරේක සාමාන්‍යාධිකාරී සහ සාමාන්‍යාධිකාරී අතර 77% සිට 124%ක වැටුප් වැඩිවීමක්ද, ඉංජිනේරු හා ඉංජිනේරු සහායක යන අය සඳහා පිළිවෙලින් 52% සිට 56% දක්වා ද, 32% සිට 40% දක්වාද වැටුප් වැඩිකරගෙන ඇති බවත්, ඒ අනුව මේවන විට 1:6 අනුපාතය නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.


මෙම සාමාන්‍යාධිකාරීවරයා එලෙස වැටුප් වැඩිකරගෙන මේවන විට විශ්‍රම ගොස් ඇති බවත්, මෙම චක්‍ර ලේඛය ක්‍රියාත්මක නොවුණේ නම් ඔහු සත්‍යවශයෙන්ම ලබාගන්නා පාරිතෝෂික මුදල දල වශයෙන් රු.3,935,400 ක් පමණ වන බවත්, මේ අනුව දල වශයෙන් ඔහු රු.2,721,250 ක පමණ මුදලක් වංචා කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.



Post a Comment