ඇඟේ හයියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ



ඇඟේ හයියෙන් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව නීතිය මන්දගාමීව ක්‍රියාත්මකවීම හා දුමින්ද සිල්වා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් නඟන චෝදනා සම්බන්ධයෙන් අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


හිරුණිකාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, කිසිදු බලපෑමකින් තොරව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත්, එවැනි බලපෑම් ඇත්නම් ඒ පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුව ඇති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.


මුදල් විශුද්ධිකරණය ඇතුළු මූල්‍යමය ගනුදෙනුවලට අදාළ අපරාධ විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කරන බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.


ඊට අදාළ පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිප්‍රකාරව පොලිස්පතිවරයා විසින් ගැසට් කරනු ඇති බවද ඔහු අවධාරණය කළේය.



Post a Comment