නවසීලන්තය 331/6යි - මාලිංග හා කුලේගේ පන්දුවාර 18ට ලකුණු 162ක්


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරඟය ආරම්භ කරමින් ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟය අද ආරම්භ වූ අතර එහිදී කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 331ක් ලබා ගැනීමට සමත් විය.


නවසීලන්ත ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් මාටින් ගුප්ටිල් හා බ්‍රෙන්ඩන් මැකලම් පළමු කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැඟීය.


එහිදී ගුප්ටිල් ලකුණු 49ටත්, මැකලම් ලකුණු 65ටත් දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කේන් විලියම්සන් ලකුණු 57ක් ලබාගත්තේය.


මීට අමතරව කොරේ ඇන්ඩර්සන් පන්දු 46දී වේගවත් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.


පන්දු යැවිවේදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසාන කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 84ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් හෝ දවා නොගමිනි.


ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර පන්දුවාර 8දී ලකුණු 78ක් ලබාදුන් අතර ඔහු තරඟයේ අවසාන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.


ජීවන් මෙන්ඩිස් පන්දුවාර 2ක් යවා ලකුණු 5ට කඩුලු 2ක් බිඳ දැමීය.


සුරංග ලක්මාල් පන්දුවාර 10දී ලකුණු 62ක් සමගින් කඩුලු 2ක් දවා ගත්තේය.



Post a Comment