ජ.වි.පෙ. පසුගිය කාලයේ අසාධාරණයට ලක්වූවන්ගේ තොරතුරු කැඳවයි

පසුගිය කාලය තුළ රාජ්‍ය සේවයේ සිදු වූ වංචා දූෂණ පිළිබද සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමුණ කමිටුවක් පත් කර තිබේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත්කර ඇති බවයි.


අදාළ කමිටුවට පැමිණිලි ලබාදීම සදහා විශේෂ දුරකථන අංක දෙකක්ද ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා දී තිබේ.


ඒ අනුව 0112 89 63 94 සහ 0718 10 68 63 යන දුරකථන අංක වලට ඒ පිළිබද දැනුම්දිය හැකි අතර ලිඛිතව ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.


එම මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා පහත පරිදි අදහස් දැක්විය.


" අතිමහත් බලාපොරොත්තු තබා ගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය පළවා හැර නව ජනාධිපතිවරයා පත් කර ගැනීමෙන් පසු ක්ෂේත‍්‍ර ගණනාවක මහජන දේපළ කොල්ලකෑම්, වංචා දූෂණ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වන ජාතික විධායක සභාව තුළ කටයුතු කරන අතර පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදීත් එම වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අපි බලපෑම් කරනවා.


දේශපාලන බලය සහ රාජ්‍ය බලය යොදා ගනිමින් කරන ලද කටයුතු මින් ඉදිරියට සිදු නොකිරීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය සකස් කර ගැනීම වැදගත් කාර්යයක්. ඒ වෙනුවෙන් 17වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරමින් අදාළ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ගැනීමට උපරිම මැදිහත් වීමකින් අපි මේ වෙනකොටත් ක‍්‍රියා කරමින් සිටිනවා.


ඒ අතර රාජපක්ෂ පාලන සමයේ අසාධාරණයට ලක් වූවන් සහ අගතියට පත් වූවන්ගේ තොරතුරු සොයා බැලීමට සහ ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි සාධාරණයක් ඉටුකරදීම සඳහා අපේ පක්‍ෂය මැදිහත් වී කමිටුවක් පිහිටුවාගෙන තිබෙනවා. ”රාජපක්‍ෂ පාලනය විසින් අසාධාරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු එක් රැස්කිරීමේ කමිටුව” කියලා අපි ඒක නම්කරලා තිබෙනවා.


මේ යටතේ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන්, පලාත් සභා මැති ඇමතිවරුන් වගේම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් දක්වා කර තිබෙන හොරකම් පිළිබඳව, දුෂණ, වංචා පිළිබඳව සහ අපරාධ පිළිබඳව ඒවාගෙන් අගතියට පත්වූවන්ගේ තොරතුරු ලබාගැනීම විධිමත් ආකාරයට කිරීම මේ සංවිධානයේ බලාපොරොත්තුවයි. මේ සංවිධානය තුළින් අංශ ගණනාවක් යටතේ තොරතුරු එක්රැස් කරනවා."



Post a Comment