වැලිකඩ පොලිස් ලොක්කට සිර දඬුවම් - දඬුවමට කලින්ම සිංගප්පුරුවට

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.

වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද නඩුවකට අදාළව ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රසික අමරසිංහ මහතාට වසරක සිරදඬුවමක් නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


2009 වසරේ ජූලි මස 7 වන දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලපත්‍රයක් නොමැතිව ඇතුළුවීම හා වනෝද්‍යානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාවලට අදාළව මෙම නඩුව ගොනු කර තිබුණි.


එම නඩුව සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා පෙනී නොසිටීම හේතුවෙන් ඔහු නොමැතිව නඩුව විභාග කර ඇති අතර ඒ අනුව මෙම තීන්දුව ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.


එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරියෙකු මෙලෙස අධිකරණය මග හැර සිටීම පිළිබඳව සුදුසු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබේ.


කෙසේ වෙතත් මේ වන විට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රසික අමරසිංහ මහතා නිවාඩු ලබා සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තා වෙයි.


ඔහු නිවාඩු ඉල්ලුම් කර පසුගියදා සිංගප්පූරුවට ගොස් ඇති බව අද දෙරණ කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.



Post a Comment