මෛත‍්‍රී පාලනයක් යටතේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ

මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් රට තුළ ත‍්‍රස්තවාදය යළි ඇතිවිය හැකි බවත්, රටේ පවතින ඒකීය භාවයට බලපෑම් එල්ලවන බවටත් වර්තමාන රජය විසින් අසත්‍ය ප‍්‍රචාරයන් සිදුකරන බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික හෙළ උරුමය හා සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය සමග ජාතික එකඟත්වයකට එළඹ ඇති බව අද (01) පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රණවක මහතා පැවසීය.


එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසූ බව පොදු අපේක්ෂකවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එම එකඟත්වයේ ප‍්‍රධාන අරමුණ වනුයේ විධායක ජනාධිපති ධූරය පිළිබඳ හා ‘‘මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ඇති දේ සම්බන්ධවයි.


මෛත‍්‍රී පාලනයක් සථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළින් රටේ ඒකීය භාවය පිළිබඳ ප‍්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂය සඳහන් කරයි. එය අසත්‍යයකි. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දාහතරවන පිටුවේ සඳහන්ව ඇත්තේ පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධවයි. එහිදී, ජනධිපතිවරයාද නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා එකහා සමාන තත්ත්වයකට පත්කෙරේ. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්ති වලට කිසිවක් සිදු කරන්නේ නැත. මෙහිදී රටේ ස්ථාවර භාවයට හා ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු වන සංශෝධන පමණක් නව රජයක් යටතේ සිදු කෙරේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වසරක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පූර්ණ ලෙස වෙනස් කරන බව සඳහන් කරයි. නමුත් ඔහු ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු අසූතුන් වන වගන්තියේ ඇති, එක සිට එකොළොස්වන වගන්ති දක්වා අවධානය යොමු කර නැත.


දෙමළ සන්ධානය, ගිවිසුමකින් තොරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එක්වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමේ කාර්යය උදෙසාය. දකුණ අප‍්‍රිකාණු කණ්ඩායමක් හා එක්ව උතුරේ ඡන්ද වර්ජනය කිරීමේ උත්සහයක රාජපක්ෂවරු නිරත වෙති. පේ‍්‍රමදාස මහතා ඝාතනය වූයේ බාබු නම් පුද්ගලයා නිසාය. ජත්‍යන්තර වශයෙන් කොටි සමග ගනුදෙනු කරන කුමාරන් පද්මනාදන් තවත් බාබු කෙනෙක් විය හැකිය. ඔහු ඇතුළු වර්තමාන රජයේ රැකවරණය ලබමින් සිටින ලේ තැවරුණ ත‍්‍රස්තවාදීන්ට නීතිය ක‍්‍රියාත්මක විය යුතුය. එවිට රට අස්ථාවර වීමට කිසිදු ඉඩක් නැත. මෛත‍්‍රී පාලනයක් යටතේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැත. ජාතික ආරක්ෂාව තහවුරු කර, සිංහල, දෙමළ, මුසලිම් මිනිසුන්ට ජීවත් විය හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කෙරේ.


මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ.


ඕනෑම රටක ත‍්‍රස්තවාදය පරාජය කළ පසු රටතුළ සාමකාමී වාතාවරණයක් තිබිය යුතුයි. යුද්ධය අවසන් වූ පසු දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවගේ සංහිඳියාව ඇතිවන වැඩපිළිවෙළක් රාජ්‍ය අංශයෙන් සිදුකළ යුතුය. නමුත් පවතින රාජ්‍ය පාලනය එය සිදු කළේ නැත. උතුරේ ජනතාවටත් ජිවත් වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඇති කළ යුතුය. උතුරේ ජනතාවගේ රැකියා ප‍්‍රශ්න විසඳීමට කර්මාන්ත ආරම්භ කළ යුතුය. නමුත් කිසිම ක‍්‍රියාකාරකමක් රජය සිදුකළේ නැත. රටේ ඒකීය භාවයට කිසිදු හානියක් මෛත‍්‍රී පාලනයක් තුළදී සිදුවන්නේ නැත. දේශපාලන වැඩපිළිවෙළ මත මෙහෙය වූ ජාතික වැඩපිළිවෙළක් නව රජය ආරම්භ කරයි. රාජපක්ෂවරුන් සිදු කරන මර්දනකාරි වැඩවලින් සිදුවන්නේ ජනතාවගේ අප‍්‍රසාදයට පත්වීම පමණි. දියුණු සාක්ෂරතාවෙන් යුතු මිනිසුන් ජන්ද දායකයන් බව අමතක නොකළ යුතු බවද රතන ස්වාමීන්වහන්සේ අවධාරණය කළේය.



Post a Comment