තවත් ආයතන ගණනාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිලි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (සේලයින් නිශ්පාදන ව්‍යාපෘතිය), සිරිලිය සවිය, ලංකා වානේ සංස්ථාව, ලක්සල හා මිහින් ලංකා/කොස්මෝස් ඒවියේෂන් හා ශ්‍රී ලන්කන් එයාලයින්ස් යන ආයතන 5 පසුගිය කාලයේ සිදුව ඇති දූෂණ පිළිබඳව දූෂණ විරෝධි පෙරමුණ අද පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද පස්වරු 2ට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ඒ ගැන පැමිණිලි 5ක් බාරදීමට නියමිත බව ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


දුෂණ විරෝධී පෙරමුණ මගින් ජනවාරි 20 සවස 2.00 ට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දුෂණ චෝදනා පිළිබඳ පැමිණිලි 5ක් බාර දීමට නියමිතය.


පසුගිය වසර 10 ක කාලය තුල සිදු කළ වංචා හා දුෂණ සම්බන්ධයෙන් වන තොරතුරු ලබා දෙන ලෙස දුෂණ විරෝධී පෙරමුණ විසින් ජනතාව වෙත ඉල්ලීමක් සිදු කළේය. ඒ අනුව මේ වන විට පැමිණිලි 800 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඒ පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් තිබේ.


1. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව


2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (සේලයින් නිශ්පාදන ව්‍යාපෘතිය - පා.ම. නාමල් රාජපක්ෂ)


3. සිරිලිය සවිය


4. ලංකා වානේ සංස්ථාව


5. ලක්සල


6. මිහින් ලංකා/කොස්මෝස් ඒවියේෂන් හා ශ්‍රී ලන්කන් එයාලයින්ස්


මෙයට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇති මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් වන ලිපිගොනුවක් අද දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත බාරදීමට නියමිතය.


පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඉන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව 12 දෙනෙකුගේ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි.



Post a Comment