අද පාර්ලිමේන්තුවේ තත්ත්වය මෙහෙමයි!

2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද පළමු වරට රැස් විය.

පාර්ලිමේන්තුව පස්වරු 1.00ට කතානයක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර පැවති පාර්ලිමේන්තුවේ සංයුතිය අද දිනයේදී වෙනස් වී තිබු අතර එවකට පැවති විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන තිබුණි.


2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආසන 161ක් පැවති අතර විපක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රී ආසන 63ක් පමණි.


එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 42ක් දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් පත් වු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඇතුළත්ව විපක්ෂයට මන්ත්‍රී ආසන හිමිවුණි.


කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට සහ ඔහුට සහය පළ කළ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනැමුණු අතර ඒ අනුව ඔවුන් අද දිනයේ දී අණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය.


නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායකවරයා ලෙසත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජෝන් සෙනවිරත්න මහතාත් විපක්ෂයේ ආසනවල අසුන් ගෙන සිටි බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරුවන් සඳහන් කළේය.


එමෙන්ම සභා නායක අසුනේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසුන්ගෙන සිටි අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා අසුන් ගෙන සිටියේය.


කෙසේ වෙතත් තවදුරටත් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ සිටින බැවින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කොටසකට මෙවර ආණ්ඩු පක්ෂයේ පේළීවල අසුන් පනවා තිබුණි.


මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 42ක් සන්ධානයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ආණ්ඩුවට එක්වු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු සමඟ ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන් 68 දෙනෙකු නියෝජනය කරති.


දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 136 දෙනෙකු සමඟ මන්ත්‍රීවරුන් 156 දෙනෙකු විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියහ.


මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භ වු අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර ඉන් අනතුරුව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේය.


එසේම නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.



Post a Comment