හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳව තමාගේ නීතී අංශය දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස නීති අංශය දැනුවත් කර ඇති බවයි.
තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස ජයන්ත කැටගොඩ මහතා ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණි.
එහිදී ඔහු සදහන් කර තිබුණේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතා තමන්ට මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, එම ඉල්ලීමට තමන් එකඟතාවය පළ කළ බවත්ය.
එමෙන්ම තමන් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම මන්ත්‍රී ධුරය නිසැක වශයෙන්ම ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට හැකිද යන්න පිළිබඳව ප්‍රකාශ කරන ලෙස ද ජයන්ත කැටගොඩ මහතා එම ලිපියෙන් ඉල්ලා තිබුණි.
මේ පිළිබදව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

Post a Comment