විභාග ප්‍රතිඵල උඩදාන්න ලකුණු යටගැසුවාද?

ජාතික විභාගවල ලකුණු මට්ටම් පහල දමා ඉහළ විභාග ප‍්‍රතිඵල පෙන්වීමේ බරපතළ අපරාධය පිළිබඳ වහා පරීක්ෂා කළ යුතුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.


‘‘සිසුන් වැඩි ප‍්‍රමාණයක් සමත් වන බව පෙන්වීමට පසුගිය කාලයේදී දේශපාලනඥයින් විසින් විභාග සමත් කරවන ලකුණු මට්ටම් පහත දමා ඇතැයි’’ නව රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 2015.01.26 දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඇමතිවරයා පවසන ආකාරයට මෙසේ නියමිත ලකුණු මට්ටම් පහල දමා සිසුන් සමත් කර විභාග ප‍්‍රතිඵල ඉහළ දැමීම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්වයකි.


මෙවැන්නක් සිදුවී ඇත්නම් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව මෙන්ම විභාග කොමසාරිස්වරයා ද ඍජුව ම වග කිව යුතුය. මෙය ඍජුවම මෙරට අනාගතය භාර ගැනීමට සිටින මානව සම්පත පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්ත්වයකි. එසේම ජාතික විභාගවල ගුණාත්මක භාවය හා විශ්වසනීයභාවය මෙම තත්ත්වය විසින් බරපතළ අභියෝගයකට ලක් කොට ඇත.


පසුගිය වකවානුවේ ජාතික විභාගවල ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම, හිටපු අධ්‍යාපන ඇමතිවරයාට අවශ්‍ය පරිදි සකසන ලදැයි සඳහන් වූ 2014 උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය වැනි මහත් ආන්දෝලනයකට තුඩු දුන් විභාග අක‍්‍රමිකතා පිළිබඳ පූර්වාදර්ශ සපයා ඇති විභාග දෙපාර්තමේන්තුව මෙම තත්ත්වයට ද ඍජුවම වගකිව යුතුය.


එසේම වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ මෙම බරපතළ ප‍්‍රකාශයෙන් හෙළි කොට ඇති තත්ත්වය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර, මෙම තත්ත්වයට වගකිව යුතු නිලධාරීන්ට තරාතිරම නොබලා වහාම විනය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත්, දේශපාලන අතපෙවීම් මත විභාග දෙපාර්තමේන්තුවේ සිදු වී ඇති අකටයුතුකම් සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. එසේම විභාග දෙපාර්තමේන්තුව දේශපාලන අතපෙවීම්වලින් තොර ස්වාධීන විශ්වසනීය ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙස ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.



Post a Comment