ජනපති මෛත්‍රීගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකරනවා

මෙවර විපක්ෂ නායක ධූරය මිශ්‍ර හැඟීම්වලින් යුතු අලුත් සංස්කෘතියක් කරා යොමු කළ යුතුව ඇති බව හිටපු සභානායක, විපක්ෂ නායක, නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව කටයුතු කරමින් යාමේදී ගතානුගතික මතධාරීන්ගෙන් හා බොහෝ අයගෙන් විවේචන එල්ලවිය හැකි බව හෙතෙම කියා සිටියේ අද(28) සර් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය යළි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


තමා දේශපාලනික චරිතයක් ලෙස බිහිවූයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් බවත්, තමාගේ ඇඟේ දුවන්නේ එකී ලේ බවත් ඒ නිසාම තමන් සැමවිටෙකම ප්‍රමුඛතාව ලබාදෙන්නේ පක්ෂය රැකගැනීමට බවද ඔහු එහිදී සඳහන් කළේය.


පක්ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීමට එය බෙහෙවින් පිටුවහලක් වනු ඇති බවත්, පක්ෂය දෙකඩවනු නොදී එහි නායකත්වය රැගෙන ඔහු පක්ෂය රැකගත් බවත් සිල්වා මහතා අවධාරණය කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් එළඹෙන මහමැතිවරණයෙන් ශ්‍රීලනිප රජයක් බිහි කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂය ශක්තිමත් කිරීමට ඉමහත් සේවයක් කළ බවත්, එය මේ මොහොතේ අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුව ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.


තමන් නියෝජය කළ රජයේ යම් යම් අඩුපාඩු බොහොමයක් තිබුණු බව පිළිගන්නා බවත්, මහනායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා ද එකී අඩුපාඩු පෙන්වාදී තමාට අනුශාසනා කළ බව සිල්වා මහතා මෙහිදී සිහිපත් කළේය.


දින සියයේ වැඩපිළිවෙලට අනුව අලුතින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව අනුව නොව කාටත් එකඟවිය හැකි ව්‍යවස්ථාවක් බවට පත්කරලීමේ වගකීම විපක්ෂයට පවත්නා බවද ඔහු කියා සිටියේය.


රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිධූරයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලට තමන් සහයදෙන බවත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර වැනි හිටපු අමාත්‍යවරුන් සන්ධානය තුළ හිඳිමින් දැවැන්ත අරගලයක් කළ බවත් ඔහු මෙහිදී සිහිපත් කළේය.



Post a Comment