හලාවත-කොළඹ පුද්ගලික බස් වර්ජනයට තවත් අය එක්වෙති

හලාවත - කොළඹ මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනයට 27 වැනිදා සවස වන විට පුත්තලම - කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින්ද එක්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හලාවත - පුත්තලම හරහා ධාවනය වන දුර ගමන් සේවා බස් රථ වලට අතර මගදී මගීන් පටවා ගන්නා බව පවසමින් මෙම දෙපාර්ශවය අතර කාලයක පටන් මත ගැටුමක් හට ගෙන තිබුණි.


මෙම මත ගැටුම පසුගිය 26 වැනිදා කොළඹ පුද්ගලික බස් නැවතුම්පළේදී ගැටුමක් බවට පත් වී ඇති අතර එහිදී ප්‍රහාරයකට ලක්වූ හලාවත - කොළඹ මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයෙකු මේ වන විට හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


හලාවත හරහා ධාවනය වූ දුර ගමන් සේවා බස් රථ සේවකයින් කීප දෙනෙකුට හලාවත නගරයේදී 26 වැනිදා කිසියම් පිරිසක් තර්ජනය කර පහර දී ඇති බවද අප වාර්තාකරු කියා සිටියි.


එසේම 26 වැනිදා රාත්‍රීයේ මහවැව නගරයට ආසන්නයේදීද දුර ගමන් සේවා බස් රථ දෙකකට කිසියම් පිරිසක් පහර දී අලාභ හානි සිදු කර ඇති නමුත් මේ සම්බන්ධ පැමිණිලි ලැබී නොමැති බව මාරවිල පොලීසියේ නිලධාරියෙකු පවසා තිබේ.


කෙසේ වෙතත් සුඛෝපභෝගී සහ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ පුත්තලම - කොළඹ සහ හලාවත - කොළඹ අතර ධාවන කටයුතු සිදු කරගෙන යයි.



Post a Comment