වාහන අංගනය ගැන හිටපු ජනාධිපති ලේකම් මෙසේ කියයි

පිටකෝට්ටේ, විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් ඉඩමක පවත්වාගෙන ගිය වාහන අංගනයේ තිබූ වාහන ජනාධිපති ලේකම් කාර්යාලය සතු භාවිතයෙන් ඉවත් කළ වාහන බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ ඇති බවත්, එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්‍ය වෙළඳපොලේ නිශ්කාෂණය කළ නොහැකි බවත්, ඒ මහතා අද දෙරණට පැවසුවේය.


වාහන ගාල් කිරීමේ අවහිරතාවයන් තිබු හෙයින් එම වාහන අදාළ ස්ථානයේ ගිවිසුමක් සහිතව ගාල් කර තිබු බවත්, අදාළ සෑම වාහනයක්ම ලේඛන ගත කර ඇති බවත් හිටපු ජනාධිපති ලේකම්වරයා අවධා‍රණය කළේය.


ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන තවදුරටත් අතුරුදහන් වී ඇති බවට චෝදනා එල්ල වන බව ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ විමසු අවස්ථාවේදී ඔහු සඳහන් කර සිටියේ නොයෙකුත් නිලධාරීන්ට නිකුත් කරන ලද වාහන අනිවාර්යයෙන් ඔවුන්ගේ ධූර කාලය අවසානයේදී බාරදියයුතු බවයි.


කෙසේ වෙතත් අදාළ වාහන බාරදී නොමැතිනම් ජනාධිපති කාර්යාලය සතුව පවතින ලේඛන පරීක්ෂා කර වාහන බාර නොදුන් නිලධාරීන්ට නැවත දැන්ම්දීමක් සිදුකළහොත් එම වාහන නැවත ලබා ගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



Post a Comment