වයඹ ස්කාගාරයකට සීල් තබයි

කුරුණෑගල, මල්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන යන, හිටපු ඇමතිවරයෙකුට කොටස් හිමි බව පැවසෙන මත්පැන් ස්කාගාරයට අද පෙරවරුවේ සීල් තබා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කුරුණෑගල පොලීසියේ ‍හා කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් හා කුරුණෑගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිටින බව අප වාර්තාකරු පැවසීය.


මේ අතර පසුගිය ආණ්‌ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට අයත් බව කියන අරක්‌කු බෝතල් 60,000ක් දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක සඟවා තිබියදී පොලිස්‌ මූලස්‌ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (17) සිය බාරයට ගන්නා ලදී.


ඒ සමග සැකකරුවන් අටදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගැනිණ.


කන්ටේනර්යක්‌ ඇතුළු ලොරි 4ක ගබඩා කර ඔරුගොඩවත්ත, ලුනාව දේවාලයට යාබද අංක 758/7 යන ස්‌ථානයේ තිබියදී පොලිසිය විසින් මෙම මත්පැන් බෝතල් තොගය බාරයට ගත් අතර ඒවායේ දළ වටිනාකම රුපියල් ලක්‍ෂ 70ක්‌ පමණ වන බව පැවසේ.


වයඹ ඩිස්‌ටලරීස්‌ නම් සමාගම මගින් නිෂ්පාදනය කර ඇති මෙම අරක්‌කු තොගය බලපත්‍ර නොමැතිව ගබඩා කර තැබීමේ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී පොලිසිය මූලික විමර්ශන සිදුකළ අතර අරක්‌කු ගබඩා කර තිබූ ලොරි හතර මුද්‍රා තබා අද (19) අධිකරණයේ අවසරය මත සුරාබදු නිලධාරීන් ගෙන්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇත.


පොලිස් බාරයට ගත් ලොරි හතරම වයඹ පළාතේ ලියාපදිංචි කර ඇතැයි වාර්තා වේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුරුණෑගල තිදෙනකු ද බණ්‌ඩාරවෙල, හිඟුරල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ ද සිටින බව පැවසේ.


ලොරි රථ අද විවෘත කිරීමෙන් පසු ඒ තුළ තිබෙන අරක්‌කු සඳහා රජයට නියමාකාරයෙන් බදු ගෙවා ඇති ද වෙනත් බලපත්‍ර නීති උල්ලංඝණය කර තිබේද යන්න සොයා බැලීමට නියමිතය.



Post a Comment