තැපැල් ඡන්දය දාන්න තවත් දවසක්

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකිවු ජන්ද හිමියන් සඳහා තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේ ලබන 03 වන දින ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.


පසුගිය 23 සහ 24 යන දෙදින තුළ තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබු අතර පොලිස් නිලධාරීන් සඳහා පසුගිය 26 වන දින අවස්ථාව ලබා දී තිබුණි.


එම දින වල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වු ජන්ද හිමියන් සඳහා පසුගිය 30 වන දින දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ජන්ද සලකුණු කිරීම අවස්ථාව ලබාදී තිබු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ජන්ද හිමියන්ට තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව ඇති බව සඳහන්ය.


එම නිසා මෙතෙක් තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වු තැපැල් ජන්ද හිමියන්ට ලබන 03 වන දින ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා සඳහන් කළේය.


මේ අතර ජනාධිපතිවරණයට අදාල නිල ජන්ද දැන්වීම් පත්‍රිකා සියයට 86ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්.ඒ.ජී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඉතිරි නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.



Post a Comment