තැපැල් ඡන්දය කාටවත් පෙන්නන්න එපා - අකටයුත්තක් වුණොත් කියන්න

රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීමේදී එය අන් අයට පෙන්වීම, එම පත්‍රිකාවේ පසුපිටේ සඳහන් අංකය අනෙක් අයට පැවසීම හෝ තමන් ඡන්දය ප්‍රකාශ කළ අපේක්ෂකයා ගැන හෙළිකිරීම මැතිවරණ නීතියට අනූව වරදක් බව කැෆේ සංවිධානය පවසයි.

රාජ්‍ය නිලධාරියෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී කිසියම් අකටයුත්තක් අපහසුතාවයක් ඇති වුවහොත් ඒ ගැන නොමිලේම නීති උපදෙස් ලබාදීමට හැකි බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.


එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


අදත් හෙටත් සිදුකෙරෙන තැපැල් ඡන්ද විමසීමේදී සියලුම තැපැල් ඡන්ද හිමියන් හා ආයතන ප්‍රධානීන් වෙත කැෆේ සංවිධානයෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.


2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සම්බන්ධයෙනි.


සර්ව ජන ඡන්ද බලය ලැබී ගෙවීගිය වසර 83 ක් පුරා ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම‘ සඳහා රාජ්‍ය සේවයේ නිලධාරින් වන ඔබගෙන් ලැබුණු සේවය, දායකත්වය අපමණය. අමිල ය. ඉදිරි ජනාධිපතිවරණයේ දී ද රාජ්‍ය සේවයේ පුරෝගාමීන් වූ සිවිල් සේවකයින්ගෙන් මේ දක්වා පැවැත්වූ අපක්ෂපාතීත්වය සහ රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කිරීමට ඔබ සැම කැපවී කටයුතු කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරමු.


පසුගිය පළාත් සභා මැතිවරණයන් හි අවස්ථා ගණනාවක දීම විවිධ පිරිස් විසින් තැපැල් ඡන්දයට බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් පැවති බව ඔබ ද දන්නා කරුණකි. මෙවර මැතිවරණයේ දී ද කැෆේ සංවිධානය වෙත තැපැල් ඡන්ද හිමියන්ට බලපෑම් කිරීම පිළිබඳ පැමිණිලි ගණනාවක් මේ වන විටත් ලැබී ඇත. මේ පිළිබද සිදු කළ සොයා බැලිමේ දී තහවුරු වූවේ ඒ අතරින් කිහිපයක යම් සත්‍යතාවයක් ඇති බවයි. ඒලෙසම අස්ථාන බිය නිසා ද වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස තැපැල් ඡන්ද හිමියන් විසින් අප වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කොට ඇත.


මේ සියලු යෝජනා සහ අදහස් පිළිබද මැතිවරණ දෙපාර්තමේන්තුවේ ද, දේශපාලන පක්ෂවල ද අවධානය මේ සමග කැෆේ සංවිධානය විසින් යොමු කර ඇත. ‘ඡන්දයක රහස්‍යතාවය උල්ලංඝණය කිරීම‘ ජනාධිපතිවරණ පනතේ අංක 78 වන ඡේදය යටතේ දැඩුවම් ලැබිය හැකි වරදකි. එය මැතිවරණ නිලධාරීන් ලෙස ඔබ විසින් අත්සන් තබනු ලබන ‘රහස්‍යතා ප්‍රකාශයේ‘ වගන්ති උල්ලංඝණය කිරීමක් ද වේ.


ඡන්ද හිමියෙකුගේ නම, අංකය හෝ නිල ලකුණ ගැන තොරතුරු ඡන්ද විමසීම අවසන් කිරීමට පෙර එළි කිරීම,


ඡන්දදායකයෙකු ඡන්දය දෙන්නට යන්නේ හෝ දුන්නේ මොන පක්ෂයට ද හෝ කණ්ඩායමට ද යන වග ඡන්ද පොළේ දී ලබාගැනීමට තැත් කිරීම,


ඡන්දදායකයෙකුට දෙන ලද ඡන්ද පත්‍රිකාවේ පිට පැත්තේ අංකය ගැන තොරතුරක් යම් තැනැත්තෙකුට දැනුම් දීම,


ඡන්ද පත්‍රිකාවක් මගින් ඡන්දය දී ඇති පක්ෂය හෝ කණ්ඩායම ගැන තොරුතුරු කිසිවක් දැනුම් දීම සහ තවත් සිදුවිය හැකි බොහෝ වැරදි හෝ අකටයුතුකම්, පිළිබඳ ‘රහස්‍යතාවය රැකීම‘ යටතේ ගැනේ.


ඔබ ආයතනයේ කවර හෝ නිලධාරියෙකු, නියෝජිතයෙකු, පක්ෂ සාමාජිකයෙකු හෝ වෙනත් ඕනෑම අයෙකු ඡන්දයේ රහස්‍යතාව උල්ලංඝණය කිරීමට කටයුතු කරන්නේ නම් එය වරදකි. එවැනි වරදක් සිදුවන්නේ නම් එය මැතිවරණ දෙපාර්තමේන්තුවට, දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලය සහ කැෆේ සංවිධානයට දැනුම් දෙන මෙන් ඉතා කරුණිකව ඉල්ලමු.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙවැනි වරදක් සිදු වන අවස්ථාවන් හි දී ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට නොමිලේ ඉදිරිපත්ව ඇති බව කාරුණිකව දැනුම් දෙමි. ඔබට නිදහස් හා ‘රහස්‍යභාවට ආරක්ෂා කෙරෙන ඡන්දයක් තහවුරු කිරීමට එමගින් අප ආයතන ද්විත්වය කැපවී සිටිමු.


එබැවින් කුමන හෝ ආකාරයෙන් තැපැල් ඡන්දය සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් වෙතොත් එය දුරකතන අංක 0114341524 හෝ 0114341514, ෆැක්ස් අංක 0112866224 හෝ ඊමේල් caffe2008@gmail.com වෙතින් අප සංවිධානයට දැනුම් දිය හැකිය.



Post a Comment