අල්ලස හා දූෂණය රටම වෙළාගෙන ඉවරයි

දැවැන්ත වෙනසක් හා සාධාරණ සමාජක් සඳහා මේවන විට රටම පෙළගැසී ඇති බව සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි.

ඒ සඳහා පෙළගැසෙන ජනතාව අතර සිටින තමා ඒ පිළිබඳ ඉමහත්සේ සතුටට පත්වන බවද උන්වහන්සේ කියා සිටියේ අද (23) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවති ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ‘සම්මේලනයේදීය.


අද වන විට අල්ලස හා දූෂණය ඉමහත් පිළිකාවක් මෙන් රටම වෙලාගෙන සෑම ක්ෂේත්‍රයක්ම බදාගෙන සිටින බවද සෝභිත හිමියන් පෙන්වා දුන්නේය.


සම සමාජ කොමියුනිස්ට් වැනි පක්ෂ පවා දෙකඩවී කෑලි කැබලිවී සාධාරණ සමාජයක් වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයදෙන බවත්, ඇමතිකම්වලට ගිජුවුණු වයසක කිහිපදෙනෙකු පමණක් වත්මන් රජය සමග සිටින බවත් උන්වහන්සේ අවධාරණය කළේය.


පසුගිය අයවැයෙන් මෙම ආණ්ඩුව බල්ලන්ගේ ආහාරපානවල මිල අඩු කළ බවත්,ලැම්බෝ ගිනි මෝටර් රථවල මිල අඩු කළ බවත්, කැසිනෝවලට බදු සහන දුන් බවත් , ඒ පිළිබඳ රැස්වීම් තිය තිය කියන්නට අවශ්‍ය නැති තරමට ජනතාව සැබෑව පිළිගන්නා බවත් සෝභිත හිමියන් සිහිපත් කළේය.


අල්ලසෙන් හා දූෂණයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුව තමන්ගේ පැත්තට පනින අයට ඇමතිකමයි සල්ලයි දීමට පසුබට නොවන බවත්, මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු යයි කීවද අද දවසේ ගොවියා මඩ සෝදා ගත් පසු දකින්නට ලැබෙන්නේ ඔහුගේ ඇටසැකිල්ල පමණක් බවද උන්වහන්සේ සඳහන් කළේය.



Post a Comment