මගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර වෙලා තියෙනවාද?

මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින්ගේ අත රුපියල් 10 බැගින් වටිනා පෑන් තබමින් මාධ්‍යවේදීන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නැයි අද (10) ඉල්ලීමක් කළේය.

මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව විසින් කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේදී අද පෙරවරුවේ වැඩසටහනක් සංවිධාන කර තිබූ අතර ඊට ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙකු ද පැමිණ සිටියහ.


මෛත්‍රිපාල සිරිසේන, බත්තරමුලේ සීලරතන, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර ඇතුළු පැමිණි ජනපතිවරණයේ අපේක්ෂකයින් වෙත එහිදී කමිටුවේ සාමාජිකයින් විසින් මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් සහ යෝජනා ජනාධිපති අපේක්ෂකයින් වෙත බාරදෙන ලදී.


උත්සවය ආරම්භවීමට මත්තෙන් මියගිය මාධ්‍යවේදීන් සිහිකර, පහනක් දල්වා, එක අතක පෑනක් තබා, විනාඩියක නිශ්ශබ්දතාවයකින්ද අනතුරුව මාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකාරී කමිටුව විසින් දේශපාලන නියෝජිතයින් අත පෑනක් තබමින් මාධ්‍යවේදීන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නැයි ඉල්ල‍ා සිටියේය.


තමාගෙන් කිසිදු මාධ්‍යවේදියෙකුට හිරිහැරයක් සිදුවී ඇතිදැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව අමතමින් ප්‍රශ්න කළේය.


මාධ්‍යවේදීන් ඉතාම කටුක රැකියාවක නිරතව සිටින බවත්, ඔවුන්ගේ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කළ යුතු බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.


තමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන බවද හෙතෙම පැවසීය.


රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස භාවිතා කරන බවත්, එම මාධ්‍ය තමාගේ නම නිවැරදිව නොකියා නමින් කොටසක් කියන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.


ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් දින රාජ්‍ය මාධ්‍ය තමාව හරි හැටි පෙන්නුවේ නැති බවත්, මහින්ද රාජපක්ෂ මහත්තයා පෙන්නූ බවත්, හෙතෙම සඳහන් කළේය.


එසේම ලබන ජනවාරී 8 වැනිදායින් පසු පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් සුරැකීම ගැන පනතක් ගෙනඒමට බලාපොරොත්තු වන බවද මෙහිදී ප්‍රකාශ කෙරිණ.


පළමු දින 100 ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත ගෙන යළි බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඊට සහභාගි වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.


නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම් සමන් වගආරච්චි ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එක්ව මෙය සංවිධානය කර තිබුණි.



Post a Comment