එක කැසිනෝ ලයිසන් එකක් බාර් ලයිසන් එකක් දුන්නේ නෑ - මගේ දෑත ගැන මට ආඩම්බරයි!

“හාමුදුරුවනේ එක කැසිනෝ ලයිසන් එකක්, එක බාර් ලයිසන් එකක් නොදුන් දෑතක් තමාට තියෙන්නේ කියා ආඩම්බරයෙන්” කියන්න පුළුවන් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ පොරොන්දු කියන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයකදී අමතක කරන ලියවිල්ලක් නමුත් මහින්ද චින්තනය කියන්නේ අමතක කරන පොරොන්දු ලියවිල්ලක් නොවන බවද හෙතෙම කියයි.


ඒ අනූව මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී කියා සිටියේය.


රටට ද්‍රෝහි එක ගිවිසුමක් තමාගේ අතින් අත්සන් කර නැති බවත්, තමාට තියෙන්නේ එක ගිවිසුමක් පමණක් බවත්, ඒ මහින්ද චින්තනය පමණක් යැයිද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.


අද බොහෝ දෙනා පවුල්වාදය ගැන කතා කරන බවද, දේශපාලන පවුලක කෙනෙක් වශයෙන් තමන් එය නෑ කියන්නේ නැති බවද පැවසූ ජනාධිපතිවරයා දේශපාලනයෙන් හම්බ කළේ නැති බවද, කියා සිටියේය.


ඒ නිසා තමාට තුන්වැනි අදියර සඳහා නැවත බලය ඉල්ලීමට බය නැතිව කතා කරන්න පුළුවන් බවද හෙතෙම පැවසීය.


රට පවාදී දණින් වැටී සාමයක් ගෙන එන්නේ නැති බවට දුන් පොරොන්දුව ඉටු කළ බවද ඒ අනූව වසර 4ටත් අඩු කාලයකින් වසර 30ක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූ බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.


එසේම එදා අපි ‍දුන් සදාචාරය පිළිබඳ පොරොන්දුව ඉටුකර ඇති බවද, ඒ අනූව ප්‍රසිද්ධියේ දුම්බීම පවා තහනම් කර ඇති බවද, ඔහු කියා සිටියේය.


එදා ඩොලර් 1200ක් වූ ඒක පුද්ගල ආදායම අද ඩොලර් 4000ක් බවට පත්ව ඇති බවද, අද ඉතා දියුණු පිරිසිදු නගර රට පුරා ගොඩනඟා ඇති බවද, ලෝකයේ බොහෝ ජාතීන් යන එන රටක් බවට මේ රට පත් කර ඇති බවද, හෙතෙම කීවේය.


එසේම මේ රට ලිබියාවක් ඉරාකයක්, ඇෆ්ගනිස්ථානයක්, ඊජිප්තුවක් වෙන්න ඉඩතබන්න පුළුවන් කමක් නැති නමුත් දේශීය ද්‍රෝහි බලවේග ඒවාට එකතු වෙන බව අපිට පෙනෙන්නට ඇතැයිද ජනපති පැවසීය.


කොටි ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කර ගත් අපට දැන් යුද අපරාධ චෝදනා නඟා ඇතැයි පැවසූ ජනපති පසුගිය සියවසේ ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා වූ අනගාරික ධර්මපාලතුමාටත් ඇතැමුන් අවලාද නැඟු අයුරු එහිදී සිහිපත් කළේය.


පෞද්ගලීකරණයට තිත තැබූ බවද, ඇතැමුන් දැන් යහපාලනය ගැන කතා කරන බවද, ත්‍රස්තවාදය තිබුණ රටක තියෙන යහපාලනය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? යැයි තමන් ප්‍රශ්න කරන බවද ජනපති පෙන්වාදුන්නේය.


ත්‍රස්තවාදය විනාශ කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ඇති වූ බවත්, නැතිනම් යහපාලනය ගැන කතා කරන්න වෙන්නේ නැති බවත්, එසේම අපි වැඩ කළේ නෑ කියා කාටවත් ඇඟිල්ල දිගු කරන්න බෑ යැයිද ජනපති එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment