අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්

ඒකාධිපති වියරුව පරාජය කිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැඟීම ඉලක්ක කර ගනිමින් තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

සමනලී ෆොන්සේකා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


මේ පිළිබඳව කළ විමසුමකදී සමනලී ෆොන්සේකා කියා සිටියේ එජනිස පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජොන් කමල් ඉන්දික නමැති අය ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.


ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින් තම පිරිස විසින් ගෙනගිය වැඩසටහන නැවැත්විය යුතු බවට පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණ තර්ජනය කළ බවත්, ඉක්බිතිව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවත් සමනලී ෆොන්සේකා අද දෙරණට කියා සිටියාය.


සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලීසියට පැමිණිලි කරන බවද, මේවන විට තම පිරිස කුරුණෑගල නගරය දක්වා පැමිණෙමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



Post a Comment