බස් - ත්‍රීවිල් ගැටුමෙන් 2ක් මරුට

තණමල්විල - ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයේ බෝගහවැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මාතර සිට අම්පාර බලා ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.


අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ රියදුරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ලුණුගමවෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.


මියගොස් ඇත්තේ තිස් හැවිරිදි රණවරනාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 33 හැවිරිදි තණමල්විල දෙව්රම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


අනතුරින් බරපතළ තුවාල ලැබු අනෙක් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.


අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ කොටිගල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.


යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.


මියගොස් ඇත්තේ 19 හැවිරිදි අරකාවිල හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.



Post a Comment