මෛත‍්‍රී තිස්සගෙන් රුපියල් මිලියන 2500ක වන්දියක් ඉල්ලයි

ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීම සම්බන්ධයෙන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

පොදු අපේක්ෂක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එකී එන්තරවාසිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත යැවූ බවයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීම සම්බන්ධයෙන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2500 ක වන්දියක් ඉල්ලයි. ඒ සම්බන්ධ එන්තරවාසිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත යවනු ලැබ තිබේ. ව්‍යාජ ගිවිසුම් පිටපතක් සැකසීම නිසා තමාට අපහාසයක් සිදුව ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එය චේතාන්විත අපහාසයකි. ජනමාධ්‍ය භාවිතයෙන් ව්‍යාජ ගිවිසුම් ලේඛනය ප‍්‍රසිද්ධ කෙරිණ. ඒ හේතුවෙන් ඇතිවූ අපහාසයට වන්දි ලබාගැනීම එන්තරවාසියෙහි අරමුණයි.


මෛත‍්‍රීපාල සිරිසේන මහතා 1989 සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ක‍්‍රියාකරයි. වගකිවයුතු අමාත්‍යධුර විශාල සංඛ්‍යාවක් ද ඔහු උසුලා තිබේ. එවැනි තත්ත්වයකදී ව්‍යාජ ලේඛනයක් සහ අත්සන ව්‍යාජව භාවිත කිරීම හේතුවෙන් දැඩි අපහාසයක් සිදුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ලෙසද වසර 13 ක් රටට විශාල සේවයක් සිදු කළේය. එවැනි තත්ත්වයක් යටතේ ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් කීර්ති නාමයට දැඩි හානි සිදුවන බව සිරිසේන මහතාගේ අදහසයි.


එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග නොවැම්බර් 01 දා කිසිදු ගිවිසුමකට මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා නැතැයි එන්තරවාසියෙහි දැක්වෙයි. වෙනත් කිසිදු ගිවිසුමකටද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා එළඹ නොමැත. එහෙත් මාධ්‍ය සාකච්ඡාවකදී ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කිරීමට තිස්ස අත්තනායක මහතා ක‍්‍රියා කළේය. එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද ලේඛනයක් වන අතර ශ‍්‍රී ලංකාවේ නීතිය උල්ලංඝණයක් ද ඉන් සිදුව ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා තිබේ. එය අපරාධයක් වන අතර ඊට එරෙහිව දඬුවම් පැමිණවීමේ හැකියාව ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ පවති.


තිස්ස අත්තනායක මහතා ලබාගත් නව අමාත්‍යධුරය ද ජනාධිපතිවරණ පනත උල්ලංඝණයක් යැයි නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා පෙන්වා දෙයි. දේශපාලන පැවැත්ම වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහි ව්‍යාජ ලේඛනය ඉදිරිපත් කිරීමට තිස්ස අත්තනායක මහතා පියවර ගත් බවද අත්තනායක මහතාගේ වත්මන් දේශපාලන නායකයා තෘප්තිමත් කිරීමද එහි අරමුණක් වූ බව එන්තරවාසියෙන් පෙන්වාදී තිබේ.


ඒ අනුව රුපියල් මිලියන 2500 ක වන්දියක් ගෙවන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉල්ලා සිටින බව නීතීඥ සඳුන් ගමගේ මහතා තිස්ස අත්තනායක මහතා වෙත දැනුම් දුන්නේය.


මේ වන විට මෙම ව්‍යාජ ගිවිසුම මුද්‍රණය කොට ජනතාව අතරේ බෙදාහැරීම සඳහා ඇතැම් පාර්ෂව කටයුතු කරන බවට විශ්වාසනීය ආරංචිමාර්ග ඔස්සේ පුවත් වාර්තාවෙමින් තිබේ. මෙම ව්‍යාජ ගිවිසුම සකස් කරන අය, මුද්‍රණය කරන්නන් හා එය බෙදාහරින්නන්ට කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම නීති කණ්ඩායම් වෙත උපදෙස් ලබාදී ඇත.


එන්තරවාසියේ පිටපතක් ඉහත පරිදිය.



Post a Comment