2015 අයවැයෙන් තේ වතු ආශ්රිතව රැකියාවේ නියුතු තමන්ට වැටුප් වැඩිකිරීමක් හෝ වෙනත් කිසිදු වරප්රසාදයක් නොලැබුණු බව පවසමින් හැටන්, ස්ටැඩන් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් කළු පටි පැළඳ අද (13) දහවල් හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් ප්රදේශයේදී සාමකාමී විරෝධතාවයක නිරත විය.
මෙවර අයවැයෙන් රාජ්ය අංශයට වැටුප් වැඩිකිරීමක් ඇතුළු වරප්රසාද ගණනාවක් ලබාදීමට යෝජනා වුවද රාජ්ය අංශයට අනුබද්ධ පෞද්ගලික අංශයේ තේ කර්මාන්තයේ නියැලී තමන් හට කිසිදු වරප්රසාදයක් නොලැබුණු බව එම විරෝධතාවයේ නියැලුණු වතුකම්කරුවන් පවසයි.
රටේ තේ ආර්ථීකයට විශාල දායකත්වයක් සපයන තමන්ට දැනට ලබාදෙන වැටුප ප්රමාණවත් නොවන බවත්, තමන් ජීවත්වන පේලි නිවාස වෙනුවට තනි තනි නිවාස ඉදිකර පර්චස් හතක ඉඩම් කැබැල්ලක් සමඟ හිමිකම් ඔප්පුවක් තමන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව විරෝධතාකරුවෝ පැවසූහ.
මෙම සාමකාමී විරෝධතාවයට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයන් එක්ව සිටියහ.
ඡායා රූ - රංජිත් රාජපක්ෂ
Post a Comment