නවකවධ සිද්ධියකට සබරගමුවේ සිසුන් 10ට විනය පරීක්ෂණ

නවකවධය ලබාදීමේ සිද්ධියකට අදාළව සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්ව විද්‍යාලීය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් දස දෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස විනය පරීක්ෂණ පැවැත්වෙන බව උපකුලපති, මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේය.


පසුගිය 06 වන දා කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසු සිසුවියන් අමානුෂික අන්දමින් නවකවධයට ලක්කර ඇති බව උපකුලපතිවරයා පැවසීය.


එම සිදුවීම ආචාර්යවරුන් කිහිපදෙනෙකු විසින් ද දැක ඇති අතර නවකවධයට සිසුන් ලක්කළ සිසුන් දස දෙනෙකු එය තමන් සිදුකළ බවට එහිදී පිළිගෙන ඇත.


අදාළ සිද්ධිය හේතුවෙන් කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන් එම සිසුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කර ඇති අතර ඊයේ දිනයේ 2වන වසර සිසුන් සඳහා දේශන පැවැත්වීමෙන් වැළකී සිටීමට ආචාර්යවරුන් පියවර ගත්බව උපකුලපතිවරයා කියා සිටියේය.


එමෙන්ම කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් සංවිධානය කරන උත්සවවලට, ඔවුන්ගේ ක්ෂේත්‍ර චාරිකාවලට මෙන්ම ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටීම ද ආචාර්යවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේය.


නවකවදය සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති සිසුන් දස දෙනා සම්බන්ධයෙන් සිදු කරන විනය පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන්ට ලබාදෙන දඬුවම විනය මණ්ඩලය තීරණය කරනු ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment