වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එහි කැඳවුම්කරු ජානක ප්රිනාන්දු මහතා කියා සිටියේ සිය ගැටලුවලට නිශ්චිත විසඳුම් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.
කෙසේ වෙතත් සේවකයින් රාජකාරී සඳහා වාර්තා කරන ආකාරයට දුම්රිය ධාවන කටයුතු සිදුකරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව මගහරවා ගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
එහි මෙහෙයුම් අධිකාරී එච්.එම්.චන්ද්‍රසිරි මහතා කියා සිටියේ ප්‍රධාන දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.
දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට සිදුවී ඇති බලපෑම පිළිබඳ අද දෙරණ ප්‍රදේශීය වාර්තාකරුවන්ගෙන් විමසීමක් කිරීමේදී අනුරාධපුර සිට ධාවනය වන කිසිදු දුම්රියක් මේ වන විට ධාවනය නොවු බව අනුරාධපුර වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියි.
ගාල්ලේ සිට ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවන කටයුතු ආරම්භ කළ බව එහි අද දෙරණ වාර්තාකරු අජිත් නිරෝෂන් පවසයි.
දුම්රිය වර්ජනය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේද දුම්රිය ධාවන කටයුතු අඩාලවී ඇති බවයි.

Post a Comment