අම්මලා දූලා පුතාලා පොලීසියට බැටදෙති

නීති විරෝධී කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට මදුරන්කුලිය - ජයසිරිගම ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී ඇත.

අද (08) පෙරවරුවේ මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.


මෙම ප්‍රහාරයෙන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නෂීම් මහතා සුළු තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් 68354 සේනානායක යන අය මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.


පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ මදුරන්කුලිය - ජයසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරමක් වැටලීමට ගොස් තිබේ.


එම අවස්ථාවේදී කසිප්පු ජාවාරමේ නිරත වන කාන්තාවගේ දියණියක් විසින් ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදු කර ඇත.


ඒ සමගම එම ස්ථානයට පැමිණ ඇති පුද්ගලයෙකු වැටලීමට ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යතුරු පැදියකට යට කර තුවාල සිදු කර පලා ගොස් තිබේ.


රෝහල් ගත කර ඇත්තේ යතුරු පැදියට යට වූ පොලිස් කොස්තාපල්වරයාය.


කොස්තාපල්වරයා යතුරු පැදියකට යට කර පලා ගොස් ඇත්තේ කසිප්පු ජාවාරමේ නිරත කාන්තාවගේ පුතෙකු විසින් බව පොලීසිය හඳුනාගෙන ඇත.


උප පොලිස් පරීක්ෂකවරයාගේ අත සපා කෑ බව කියන 25 හැවිරිදි තරුණිය සහ ඇයගේ මව වන කසිප්පු ජාවාරමේ නිරත කාන්තාව කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දී තිබේ.


පළාගොස් ඇති සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment