එල්.ටී.ටී.ඊ වත්කම් කෝටි 25 යි - ඡන්ද වැඩට යොදාගනියිද?

යුරෝපා සංගමයේ පොදු අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ තහනම ඉවත්කිරීමෙන් පසු කෝටි 25 ක් පමණ වන එල්.ටී.ටී.ඊ වත්කම් වලට කුමක් සිදුවේදැයි සැක සහිත බව එ.ජා.ප මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

කේ.පී හා කරුණා අම්මාන් වැනි එල්.ටී.ටී.ඊ යේ හිටපු ප්‍රධානීන් මේ වන විට සිටින්නේ සන්ධාන ආණ්ඩුවේ බැවින් මෙම මුදල් ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීමට ඉඩකඩ ඇතැයි අත්තනායක මහතා කියා සිටියේ අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


මීට පෙරාතුව 2005 වසරේදීද එල්.ටී.ටී.ඊ මුදල් ආණ්ඩුව විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති වලට යොදාගත් බවත්, ඒ බව මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන් විසින් හෙළිදරව් කර තිබුණු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.


යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊය තහනම් කර තිබියදී ඊට එරෙහිව ඩයස්පෝරාව විසින් ගොනු කළ නඩුවක් විභාගවෙමින් පවතින බව ආණ්ඩුව දැන සිටි නමුත් එය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශවයෙන් කිසිදු කරුණු දැක්වීමක් සිදුනොකළ බව අත්තනායක මහතා පෙන්වාදුන්නේය.


එල්.ටී.ටී.ඊය වසර 8ක කාලයක් තිස්සේ යුරෝපා සංගමය විසින් තහනම් කර තිබුණේද රජයේ ඉල්ලීමකට නොව අන්තර්ජාලයෙන් ලබාගත් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ තොරතුරු හේතුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.


එබැවින් තවදුරටත් එකී තහනම ක්‍රියාත්මක කළ යුතු බවට රජය විසින් කරුණු තහවුරු කළ යුතුව තිබුණත්, විදේශ කටයුතු අමාත්‍යංශය,තානාපතිවරුන්,නීතිපති දෙපාර්තමේන්තුව හො ආරක්ෂක අමාත්‍යංශය ඒ වෙනුවෙන් කිසිවක් නොකළ බව මන්ත්‍රීවරයා කියා සිටියේය.


එකී තහනම ඉවත්කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යුරෝපා සංචාරයේ ප්‍රතිඵලයක් බවට මඩ ප්‍රචාරයක් ගෙනයමින් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවේ හොරණෑ විසින් කටයුතු කරනු ලැබුවත්, එකී ඡායාරූපයේ සිටින්නේ ලන්ඩන්හි නිල එ.ජා.ප සාමාජිකයින් බවත්,එතැන එකදු ද්‍රවිඩ ජාතිකයෙකු හෝ නොමැති බවත් අත්තනායක මහතා පැහැදිලි කළේය.


මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේවන විට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් යෙහෙන් වැජඹෙන අපරාධකරුවන්,දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරි එජාප ආණ්ඩුවකදී ‘අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්පාදනය කිරීම‘ට කටයුතු කරන බවයි.


මෙහිදී ආණ්ඩුවේ සිටින දූෂිතයින් එ.ජා.ප ආණ්ඩුවට එක් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් අත්තනායක මහතා පෙන්වාදුන්නේ ප්‍රබල දූෂිතයින් හෝ අපරාධකරුවන් තමන් සමග එක්වේයයි කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවයි.


මන්දයත් ඔවුන් තමන් නීතිය හමුවට ගෙනඑනු ඇතැයි යන බිය නිසාම වත්මන් ජනාධිපතිවරයා අසළම සිටිනු ඇති බවත්, කෙසේ වෙතත් මේවන විට ආණ්ඩුවේ ඇතැම් පිරිස් එ.ජා.පයට එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment