ලංකාවට එරෙහි විරෝධය නතර කරයි

ශ්‍රී ලංකා බලධාරීන් බාරයේ පවතින ධීවර යාත්‍රා නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයින් පම්බන් පාලම අවහිර කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ උද්ඝෝෂණය නතර කර තිබේ.

තමිල්නාඩුවේ රාමේශ්වරම් සහ පම්බන් දිවයින සම්බන්ධ වන පෝක් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන මෙම පාලම මත සිට අදාළ උද්ඝෝෂණය පැවැත්වීමට ධීවර සංගම් තීරණය කර තිබුණි.


ධීවර සංගම් 11 ක ධීවරයින් එක්ව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද බලධාරීන්ගේ ඉල්ලීම මත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය නතර කිරිමට ඔවුන් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


පම්බන් පාලම මත අදාළ උද්ඝෝෂණය පැවැත්වීම මගින් සංචාරකයින්ට මෙන්ම පාලම මතින් සංක්‍රමණය වන පුද්ගලයින්ට බාධා සිදුවිය හැකි බව ධීවර සංගම් නියෝජිතයින් වෙත පොලිසිය දැනුම් දී තිබේ.


එමෙන්ම මේ මස අවසානයේ දී නවදිල්ලිහිදී පැවැත්වීමට නියමිත ඉන්දු ලංකා ධීවර සාකච්ඡාවට ද මෙම උද්ඝෝෂණයෙන් බලපෑම් එල්ල විය හැකි බව ඉන්දීය රජයේ බලධාරීන් පෙන්වා දි ඇත.


ඒ අනුව තම යාත්‍රා නිදහස් කරගැනීමට අවශ්‍ය වුව ද තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය හරහා ජනතාවට බාධා සිදුකිරීමට නොහැකි බැවින් එම ක්‍රියාමාර්ගය අත්හැරිමට තිරණය කළ බව රාමේෂ්වරම් ධීවර සංගම් නායක පී.සේසුරාජා ප්‍රකාශ කර තිබේ.



Post a Comment